Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලෝකඩ පදක්කමේ වටිනාකම බහී

ලෝකඩ පදක්කමේ වටිනාකම බහී

නාමල් පතිරගේ - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ දී පැවැත්වෙන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ගේ ත්‍යාග මුදල් අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවරදී සහ ෆොකාරා නුවරදීත් පැවැත්වේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසුවේ අඩුම තරමේ රන් පදක්කම් 35 ක් වත් මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනකුගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා සහභාගි කරන අතර 200 දෙනකුගෙන් සමන්විත තාක්‍ෂණ නිලධාරීන් පිරිසක්ද ඔවුන්ට මග පෙන්වමින් සාග් ක්‍රීඩා තරග සංචාරයට නිර්දේශ කෙරේ. මෙම තාක්‍ෂණ නිලධාරීන්ගේ කණ්ඩායමට පුහුණුකරුවන් 95 ක්, සම්භාහකයන් 15 ක්, භෞතචිකිත්සකයන් 13 ක්, වෛද්‍යවරුන් 10 ක්, කළමනාකරුවන් 25 ක්, ධනාත්මක දේශකයන් පහක් හා  නිරීක්‍ෂකයන් 15 දෙනක් ඇතුළත්  වෙති.

ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මේ වනවිට සාග් පුහුණු සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 923 දෙනකු පුහුණුවීම් හදාරන බවයි. සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වයේ මුළු වියදම මිලියන 344 ක් බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි. ඉන් මිලියන 50ක මුදලක් පුහුණුකරුවන්ගේ  ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන් කෙරෙන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා  පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු සංචිත සඳහා මේ වනවිට රුපියල් මිලියන 23ක් මුදාහැර ඇතත් ක්‍රීඩා සාග් උළෙල සම්බන්ධයෙන් ඇතැම් ජාතික ක්‍රීඩා සංගම්හි ඒ සඳහා පෙර පුහුණුවීම් සහ උනන්දුව තවදුරටත් හීන මට්ටමක පැවතීම කනගාටුවට කරුණක් බව පැවසීය.

වසර 2016 ඉන්දියාවේ ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි හා ෂිලෝන් යන නගරවල දී පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවදිනාගත් රන් පදක්කම් ගණන 25කි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 484 දෙනකු  ක්‍රීඩා ඉසව් 23කට සහභාගි කරමිනි. 2016 දී ක්‍රීඩා ඉසව් පහකින් පමණක් ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගත් අතර ඉන් 21 ක්ම පිහිනුම් හා මලල ක්‍රීඩාවෙන් වීම කැපී පෙනෙන්නකි.

 


අදහස් (0)

ලෝකඩ පදක්කමේ වටිනාකම බහී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.