Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන අගෝස්තු 4 සිට 13 දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ජේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව බොහෝ  දුරට 4ක් දක්වා ඉහළයා හැකි බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරග කමිටුව  විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජිත පරිසාධන මට්ටම අනුව මැරතන් ක්‍රීඩකයන් දෙදෙනකු වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ හිරුණි විජේරත්න  මේ වන විට සෘජුවම අදාළ  සුදුසුකම් සපුරා තිබේ. ඉන්දියාවේ භුබනේෂ්වර්හි පසුගියදා පැවති 22 වැනි  ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ  දී  ශ්‍රී ලංකාවට එකම රන්  පදක්කමක් දිනා දුන් මැදි දුර ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි (මීටර් 800 කාන්තා) ලෝක ශූරතා යෝජිත පරිසාධන මට්ටමට ළඟාවීමට අපොහොසත් වූවත් ඇය  ආසියානු කලාපීය වත්මන් ශූරිය (මීටර් 800)  ලෙස ලන්ඩන් ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගෙන සිටින්නීය.

මීට අමතරව  හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන් දයාරත්න එම ඉසව්වේ ශ්‍රේණිගත කිරීම් අනුව දැනට ලොව හොඳම  ක්‍රීඩකයන්  අතර 29 වැනි ස්ථානයේ පසුවන හෙයින් ඔහුට ද බොහෝ විට ලන්ඩන් ලෝක  ශූරතාවලියට සහභාගි වීමේ වරම් හිමි වනු ඇතැයි  වාර්තා වේ.

ලෝක ශූරතාවලියේ සුදුසුකම් මූලික වටයට ක්‍රීඩකයින් 32 ක් සහභාගී කරවන හෙයින් සහ දැනට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 29 වැනි ස්ථානයේ වරුණ ලක්ෂාන් සිටින හෙයින් ඉදිරි දින කිහිපය ඇතුළත ජාත්‍යන්තර මට්ටමින්  ඉසව්වේ  වෙනසක් ඇති නොවුව හොත් වරුණටද ලන්ඩන්  ලෝක ශූරතාවලියට යාමේ අවස්ථාව  හිමි වන බව මලල ක්‍රීඩා තේරුම් කමිටුවේ සභාපති  සමන් කුමාර ගුණවර්ධන  මහතා පෙන්වා දෙයි.

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ  ලෝක  ශූරතා පරිසාධන මට්ටම මීටර් 83.00කි. එහෙත් වරුණගේ පෞද්ගලික උපරිම දක්ෂතාවය  මීටර් 82.19  ක් වන අතර ආසියානු තරගාවලියේදී වරුණ එම  ඉසව්ව වෙනුවෙන් පෙන්වන ලද දක්‍ෂතාව මීටර් 76.78 කි.

ලන්ඩන් ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව  වෙනුවෙන් ප්‍රථමයෙන්  සුදුසුකම්  ලැබූ ක්‍රීඩකයා  අනුරාධ ඉන්ද්‍රජිත් කුරේය. ඔහු 2016  දකුණු ආසියානු  ක්‍රීඩා උළෙලේදී  මැරතන් ඉසව්ව පැය 2.15.38 කින් නිම කර එහි පරිසාධන මට්ටම (පැය 2.17.00) ඉක්මවාලීමට සමත් විය.

හිරුණි විජේරත්න ද මැරතන් ඉසව්ව (කාන්තා) පැය 2.45.00 කින් අවසන් කර එහි ලෝක ශූරතා පරිසාධන මට්ටම (පැය 2.45.00) ඉක්මවා ලෝක ශූරතාව  නියෝජනය කිරීමට සුදුසුකම්  සපුරා ඇතත් ශ්‍රී ලංකා - ඇමරිකා ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ඇය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැතත් බොහෝ දුරට  ඇයට ලෝක ශූරතාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇතැයි විශ්වාස කෙරේ.

මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු සහ පුහුණුකරු තනතුරට සනත් අබේසේකර මහතා පත්කර ඇත.

 


අදහස් (0)

ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.