Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලන්ඩන් ලෝක ශූරතාවලියට 4ක්

ලන්ඩන් ලෝක ශූරතාවලියට 4ක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

‘ලන්ඩන්’ නුවරදී ලබන අගෝස්තු 4 වැනිදා ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම අද (24) අවසන්වීමෙන් පසුව ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ තිදෙනෙක් සහභාගිත්වය තහවුරු කරගෙන සිටිති.

ඒ අතර ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරයෙකු වන වරුණ ලක්‍ෂාන් දයාරත්න ද ඒ සඳහා නිර්දේශ වනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්‍ෂාවෙන් පසුවේ.

එංගලන්තයේ ලන්ඩන් නුවරදී ලබන අගෝස්තු 4 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 200කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000ක් රන් පදක්කම් 47ක් දිනා ගැනීමේ මූලික අභිප්‍රායෙන් සහභාගිවීමට නියමිතය.

 මෙම තරගාවලිය ලොව වැඩිම රටවල් ගණනාවක් සහභාගිවන ප්‍රධානතම ක්‍රීඩා උළෙල අතර තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්‍ෂාන් දයාරත්න ‘ලන්ඩන්’ තරගාවලියට සහභාගිත්වය තහවුර කර ගතහොත් ශ්‍රී ලංකාව මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉසව් හතරක් නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගනියි.

එය වසර 2003 ‘පැරිස්’ නුවර පැවති ලෝක ශූරතාවලියෙන් පසුව ශ්‍රී ලංකාව වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් සහභාගි කරන ලෝක ශූරතාවලිය වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

මීට පෙරත් ලෝක ශූරතාවලි දෙකක් නියෝජනය කළ මැරතන් ශූර 39 හැවිරිදි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පැය 2 විනාඩි 15 තත්පර 32ක දක්‍ෂතාවයක් දක්වමින් මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් පළමුව සුදුසුකම් ලබා ගත්තේය. ඒ පැවැති ඇසැම් සාෆ් ක්‍රීඩා (2015) උළෙලේ රිදී පදක්කම දිනා ගනිමිනි.

නිමාලි ලියනආරච්චි

ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම වූයේ පැය 2 විනාඩි 17කි. මේ අතර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් (විනාඩි 2 තත්පර 2.58) නිමාලි ලියනආරච්චි මෙවර අවසන් මොහොතේදී ලන්ඩන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ඇත්තේ නිර්දේශිත ක්‍රීඩිකාවන් හැරෙන්නට දෙවනුව තෝරා ගන්නා මහද්වීප හා කලාප ශූරියන්ගේ නාමලේඛනය යටතේය.

ඒ අනුව ආසියානු මීටර 800 ශූරිය ලෙස නිමාලි ලියනආරච්චි එම අවස්ථාව උදාකර ගැනීමට සමත් වූවාය. එම ඉසව්වේ ලෝක ශූරතා අවම සුසුසුකම වූයේ විනාඩි 2 තත්පර 1.5කි.

 මේ අතර ඇමරිකාවේ ‘එව්ජින් ’ ප්‍රාන්තයේ දැනට පදිංචිව සිටින ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින මැරතන් ක්‍රීඩිකාවක්වන හිරුණි විජේරත්නට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට අනුමැතිය ලබා දීමත් සමග ඇගේ සහභාගීත්වය දැන් නිරවුල් වී තිබේ.

 මෙම ක්‍රිඩිකාව ‘එව්ජින්’ මැරතන් තරගයේදී (පසුගිය මැයි 3 වැනිදා පැවැති) පැය 2 විනාඩි 43 තත්පර 31ක දක්‍ෂතාවයක් පෙන්වමින් මෙම අවස්ථාව හිමිකර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍යව තිබූ මූලික සුදුසුකම වූයේ පැය 2 විනාඩි 45 තත්පර 02කි.

 වසර 2001 සිට ඇමරිකාවේ පදිංචිව සිටින හිරුණි ක්‍රිඩිකාවක් ලෙස ඇමරිකාවේ ලියාපදිංචි වී සිටින බැවින් ඇය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ලෙස පිළිගැනීම අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය මුලින් ප්‍රතික්‍ෂේප කර සිටීම එම තත්ත්වයට හේතු විය.

 කෙසේ වුවත් පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවැති තේරීම් තරගාවලියේදී මීටර 82.19ක දක්‍ෂතාවයක් දැක්වූ වරුණ ලක්‍ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 32 වැනි ස්ථානයේ පසුවේ. එම ඉසව්වේ නිර්දේශිත හොඳම ක්‍රීඩකයන් 20 දෙනා හැරෙන්නට අනතුරුව හොඳම දක්‍ෂතාව පළකර තිබෙන තවත් ක්‍රීඩකයන් 10 දෙනකුට ලැබී තිබෙන අවස්ථාව යටතේ තමන්ට ද ඒ සඳහා අවස්ථාවක් උදාවනු ඇතැයි චාමර ලක්‍ෂාන් විශ්වාසයෙන් පසුවේ.

 ඒ සඳහා ඔහුට වඩාත්ම අවස්ථාවක් හිමිවනු ඇත්තේ දෙවනුව නිර්දේශ ලබන එකී ක්‍රීඩකයන් 10 දෙනාම සහභාගීත්වය සනාථ නොකරන අවස්ථාවක් උදා වුවහොත්ය. අවසන්වරට පැවැති 2015 චීනයේ බීජින් නුවරදී පැවැති ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා මැරතන් ක්‍රීඩිකා ගීතානි රාජසේකර සහභාගි වූහ. අවසන්වරට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන්නේ එවකට ශ්‍රී ලාංකික සුපිරි ධාවන ශූරිය වන සුසන්තිකා ජයසිංහ 2007 සුකෝකාහිදී මීටර 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමෙනි.

 


අදහස් (0)

ලන්ඩන් ලෝක ශූරතාවලියට 4ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.