Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් ඉසව්වේ පැය 2 බාධකය බිඳී

මැරතන් ඉසව්වේ පැය 2 බාධකය බිඳී

editorial - 2019 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක මැරතන් තරග ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලූ කෙන්යානු ජාතික එලියඞ් කිප්චෝගේ පැය දෙකකට අඩු කාලයකින් මැරතන් තරගයක දුර ප්‍රමාණය ගෙවා අවසන් කළ ලෝකයේ පළමු ධාවකයා ලෙසින් ඉතිහාසයට එක්විය.

දශක ගණනාවක් පුරා පැය දෙකක කාලය සලකනු ලැබුවේ මැරතන් ක්‍රීඩකයකුට කිසිම ආකාරයකින් ජයගත නොහැකි කඩයිමක් ලෙසිනි. එහෙත් පැය 1 යි විනාඩි 59 යි, තත්පර 40.02 දී තරගය නිමකළ එලියඞ් කිප්චෝගේ ඕස්ටි්‍රයාවේ වියානා අද (12 වැනිදා) පෙරවරුවේදී මෙම දස්කම පෙන්වීය.

34 හැවිරිදි එලියඞ් කිප්චෝගේ මැරතන් ඉසව්වේ ඔලිම්පික් ශූරයා වන අතරම මැරතන් ඉසව්ව සඳහා වත්මන් ලෝක වාර්තාවේ හිමිකරුවාද වෙයි. ලෝක වාර්තාව සටහන් වන්නේ පැය 2 යි, විනාඩි 01 තත්ත්පර 39 ක් ලෙසිනි. එය පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මාසයේදී බර්ලින් මැරතන් තරගයේදී කිප්චෝගේ විසින් පිහිටුවන ලද්දකි.

වියානා නුවරදී පැවැති මෙම තරගය සඳහා යොදාගන්නා ලද්දේ අති දැවැන්ත උද්‍යානයක විශේෂයෙන්ම සකස් කරන ලද ධාවන පථයකි. එහි ධාවන පථය හැකි තරම් සමව සකස්කරනු ලැබ තිබිණ. ධාවන පථය කෙතරම් පහසු ලෙසින් සකස්කර තිබුණේද යත් සම්පූර්ණ ධාවනය පුරාම ඔහු පල්ලම් බැස්සේ මීටර 26 ක් පමණි. කන්දක් ලෙසින් නැඟගියේ මීටර 12 ක උසක් පමණි.

මෙම ඉසව්ව සූදානම් කර තිබූ ආකාරය සහ එය පැවැත්වූ ආකාරය සම්මත තරග රටාවට අනුකූල නොවන හෙයින් මෙය ලෝක වාර්තාවක් ලෙසින් පිළිගැනීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය පසුබට වනු ඇත. මක්නිසාද යත් ධාවන පථයේ ඇතැම් කොටස් නැවත තාර ඇතිරීමෙන් සමතල කර තිබුණ බැවිනි.

කිලෝමීටර 42.195 ක් වූ මැරතන් දුරකදී (සැතපුම් 26.219) සහාය ධාවකයෝ විටින් විට ඔහුගේ වේගය වැඩිකිරීමට උපකාර කළහ. සහාය ධාවකයන් අතර මීටර 1500 ඔලිම්පික් ශූරයා වන මැතිව් සෙන්ට්‍රොවිට්ස් මෙන්ම හිටපු ලෝක ශූරයකු වන බර්නාඞ් ලගාට් ද සිටියහ. මේ හේතු නිසාම කිප්චෝගේ දස්කම ලෝක වාර්තාවක් ලෙසින් තවමත් නිල වශයෙන් පිළිගෙන නොමැත.

ධාවනයේ වේගය වැඩිකිරීමට යොදාගන්නා සහාය ධාවකයන් 41 දෙනකු සහ ඔවුන් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක් යොදාගනිමින් ඔහු මෙවර සිය උත්සාහය ජයගත්තේය. වසර දෙකකට ඉහතදී ඉතාලියේ මොන්සා නුවරදීත් ඔහු මෙවැනිම උත්සාහයක් ගත් නමුත් එවර පැය දෙකකට කලින් තරගය නිමා කිරීමට කිප්චෝගේ අපොහොසත් විය.

“මම උත්සාහ කළා”
“පැය දෙකකට අඩුවෙන් මේ දුර දුවපු, තවත් බොහෝ දෙනකුට මඟ පෙන්වපු, ලෝකයේ සිටින සන්තුෂ්ඨිමත්ම මිනිසා මමයි...... අදින් පස්සේ ලෝකයේ සිටින තවත් බොහෝ ක්‍රීඩකයන් පැය දෙකකට අඩුවෙන් මේ දුර දුවාවි කියා මා විශ්වාස කරනවා” යයි තරගය නිම කිරීමෙන් පසුව කිප්චෝගේ පැවසීය.

ඉසව්වේ අවසානය කරා අවතීර්ණ වීම තමන්ගේ ජීවිතයේ වඩාත්ම ප්‍රීතිදායක මොහොත බව කිප්චෝගේ කීවේය. කිප්චෝගේ තරගය නිම කිරීමත් සමගම ඔහුට සුබ පැතීමට ඉදිරියට පැමිණයේ ඔහුගේ බිරිඳ වන ග්‍රේස් සුගාත් මහත්මියයි.

කිප්චෝගේ තරගයට පිවිසියේ නිශ්චිත සැලසුමක් ඇතිවය. විනාඩි 2 තත්ත්පර 50 ක කාලයක් තුළදී කිලොමීටරයක් දිවයාම ඔහුගේ සැලසුම විය. සැලසුම් කළ පරිදිම ඔහු තරගය පුරාම අනවරත වේගයක් පවත්වා ගත්තේය.

ඉසව්වේ ප්‍රධාන අනුග්‍රාහකයන් වූ ඉනෙඕස් සමාගමත්, බි්‍රතාන්‍යයේ ධන කුවේරයකු වන ජිම් රැට්ක්ලිෆ් මහතාත් මේ සම්බන්ධයෙන් අති විශේෂ උනන්දුවක් ගෙන තිබිණ.

“ඔහු ඇත්තටම ධාවනයේ වේගය වැඩිකළේ අවසන් කිලෝ මීටරයේදීයි. ඔහු සුපිරි මිනිසෙක්” යයි රැට්ක්ලිෆ් මහතා කීවේය.

ධාවන පථයේ දෙප රැස්ව සිටි පිරිස කිප්චොගේට සුබ පතමින් ඔහු දිරිගන්වමින් සිටි අතර ඉසව්වේ අඩක් අවසන් වන විට ඔහු අපේක්‍ෂා කළාට වැඩියෙන් තත්ත්පර 11 ක් ඉදිරියෙන් විය. පළමු කිලෝ මීටර 5 විනාඩි 14.10 කින් නිමකළ කිප්චෝගේ විනාඩි 28.20 කදී 10 වැනි කිලෝ මීටරය පසුකළේය. අර්ධ මැරතන් තරගයක දුර ප්‍රමාණය විනාඩි 50.35 කින් නිමකළ කෙන්යානු ධාවන ශූරයා පැය දෙකකට තත්ත්පර 20 ක් ඉතිරිව තිබියදී ඉසව්ව නිම කළේය.

“අපේ ජීවිතවල සීමාවන් මොනවාද කියා නැවත සිතා බලන්න ඔහු අපව දිරිගැන්වූවා” යයි කිප්චෝගේ පුහුණුකරු පැට්ටි්‍රක් සෑන්ග් මහතා කිීවේය.

“වාර්තා තියෙන්නේ බිඳ දමන්නයි..... ඒ නිසා තවත් කාලයකට පස්සේ කවුරුහරි මේ වාර්තාවත් බිඳ දමාවි. ඒත් මෙතැනදී ඉතිහාසය නිර්මාණය වෙලා තියෙනවා. ඒක අදහන්නත් බැරි තරම්” යයිද සෑන්ග් මහතා කීවේය
පසුගිය වසර 16 පුරාම මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව දෝලනය වූයේ කෙන්යානු සහ ඉතියෝපියානු ක්‍රීඩකයන් අතරය.

කිප්චෝගේ මැරතන් ලෝක වාර්තාවට පසුගිය මාසයේදී බිඳී යන්නට ඔන්න මෙන්න තිබියදී තත්ත්පර් දෙකකින් බේරිණ. පසුගිය මාසයේදී පැවැති ඉතියෝපියාවේ කෙනනිසා බෙකේලේ බර්ලින් මැරතන් තරගය නිම කළේ පැය 2:01.41 කිනි. කිප්චෝගේ ලෝක වාර්තාව පැය 2:01.39 කි.


අදහස් (0)

මැරතන් ඉසව්වේ පැය 2 බාධකය බිඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.