Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මහවැලි ක්‍රීඩා 9 - 10 පොළොන්නරුවේදී

මහවැලි ක්‍රීඩා 9 - 10 පොළොන්නරුවේදී

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්‍ෂතා උරගා බලන වාර්ෂික ක්‍රීඩා මංගල්‍යය ලෙස සැළකෙන XXIX වැනි මහවැලි ක්‍රීඩා උළෙල පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී මේ මස 9 සහ 10 දෙදින පැවැත්වේ.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මහවැලි ගොවි දරුවන්ගේ දක්‍ෂතා ජාතික සහ ජාත්‍යන්තර තළයට ගෙන ඒමට හඳුනා ගැනීමට මෙම ක්‍රීඩා උළෙල වඩාත් වැදගත් වී ඇති බවයි.

මලල ක්‍රීඩා උළෙලට පමණක් මහවැලි කළාප 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600 ක් පමණ සහභාගි වන බව මහවැලි ක්‍රීඩා කමිටු නිලධාරීනි ශ්‍රියාණි මල්ලිකා මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

මෙම ක්‍රීඩා උළෙල ඔස්සේ ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 කට අධික පිරිසක් දායාද කර තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශ්‍රීයානි කුලවංශ මහවැලි ‘එච්’ කළාපය නියෝජනය කරමින් ජය ලබා ආසියානු පදක්කම් දක්වා පැමිණියාය. ඊට අමතරව ශ්‍රී ලංකා පාපැදි ශූරිය යූ. ඩී. ශ්‍රීයාලතා, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශ්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි ක්‍රීඩා උළෙල ඔස්සේ බිහිවු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කළාපයේ ක්‍රීඩකයකු වන අතර ඔහු මහවැලි කළාපවලින් මෑතකදී බිහිවූ ප්‍රබලතම ක්‍රීඩකයෙකි.

හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් අනුව මහවැලි ක්‍රීඩා උළෙල 1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ අතර එතැන් සිට 2012 වසර දක්වා අඛණ්ඩව ක්‍රීඩා උළෙල පැවැති අතර 2013 සහ 2014 වසරවලදී ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් ක්‍රීඩා උළෙල අතහැර දැමීය. නව රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවතත් ක්‍රීඩා උළෙල ආරම්භ කළේය.

ගයාන් සමීර දිසානායක සහ සොනාලි කුමාරි වීරසේකර මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පහන දැල්වීමට සූදානමින් සිටිති. ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව 9 වැනිදා පෙරවරු 6.30 ට දිඹුලාගල අරාණ්‍ය සේනාසනයේ ආගමික වාතාවත්වලින් අනතුරුව දැල්වීමට සූදානම් කර තිබේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය 9 වැනිදා පෙරවරු 8.30 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය 10 වැනිදා පස්වරු 2.00 සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

මහවැලි ක්‍රීඩා 9 - 10 පොළොන්නරුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.