Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර නොවූ අවස්ථාවක්

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර නොවූ අවස්ථාවක්

editorial - 2020 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල සමඟ ගැටීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මාස 11 ක් ඉදිරියට කල්දමා තිබේ. ඒ අනුව මීළඟ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය 2022 ජූලි මාසයේදී පැවැත්වෙනු ඇති බව අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය නිවේදනය කරයි.


මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය 2022 වසරේ ජූලි 15 සිට 24 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේදී පැවැත්වේ.

සාමාන්‍යයෙන් සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඔලිම්පික් ක්‍රීඩා තරග පැවැත්වෙන වසර වලදී නොපැවැත්වේ. ඒ සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ ඔත්තේ ඉලක්කම් සහිත වර්ෂයන්ය. වසර 4 කට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සමග ගැටීම වළක්වා ගැනීම එහි ප්‍රධාන අරමුණකි.

මේ වසරේ ජූලි - අගෝස්තු මාස වලදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල පසුගිය මාසයේදී වසරකින් කල් දැමීම හේතුවෙන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ඔලිම්පික් උළෙල එකිනෙක මත වැටීමට ඉඩ තිබිණ. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා 2021 අගෝස්තු 6 සිට 15 යන දින වෙන්කර තිබිණ. 2022 ජුලි 27 සිට අගෝස්තු 7 දක්වා එංගලන්තයේ බර්මින්හැම්හි පැවත් වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ අගෝස්තු 15 සිට 21 දක්වා මියුනිච් හි පැවැත්වෙන යුරෝපීය මලල ක්‍රීඩා ශූරතා තරගාවලි සමඟ ගැටුම් වලක්වා ගැනීම සඳහා නව දිනයන් තෝරා ගන්නා ලදී.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය පවසන්නේ නව දින යොදාගැනීම අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබිය හැකිනම් මෙම ප්‍රධාන පෙළේ ඉසව් තුනටම තරඟ කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. එය ලෝකයේ ඉදිරිපෙළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පෙර නොවූ විරූ අවස්ථාවක් බවද අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය කියයි.

එක් ග්‍රීෂ්ම සෘතුවකදී (2022) ලෝක මට්ටමේ ඉසව් තුනක් අඛණ්ඩව පැවැත්වීම “ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන්ට ලැබෙන වරප්‍රසාදයක්” වනු ඇති බවද ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ මහතා පැවසුවේය.

“ඔවුන් නියත වශයෙන්ම සති හයක කාළයක් පළමු පන්තියේ මලල ක්‍රීඩකයින් සඳහා වෙන්කර ඇති සංග්‍රහ - ෂත්කාර ලැබීමට සුදසුකම් ලබාවි” යැයි සෙබස්තියන් කෝ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට පෙර ලෝක ශූරතා තරඟාවලිය පසුගිය වසරේ (2019) දෝහා නුවරදී පැවති අතර 2023 ලෝක ශූරතාවලිය හංන්ගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී පැවැත්වේ. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ නව දිනයන් සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන බව යුරෝපීය මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම වසරේ යුරෝපීය මලල ක්‍රීඩා ශූරතා අගෝස්තු අග දී පැරීසියේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය “දැනටමත් කල්දැමීමේ හෝ අවලංගු කිරීමේ අවදානමට මුහුණ දී තිබේ.
 
- 2079

අදහස් (0)

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර නොවූ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.