Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පළමු රන් පදක්කම අනීතාට

පළමු රන් පදක්කම අනීතාට

editorial - 2019 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ සහ පාලිත ආරියවංශ බදුල්ලේ සිට)

බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී අද (25) ආරම්භ වූ 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට ජෙගතීෂ්වරන් අනීතා සමත්වූවාය. මෙවර ක්‍රීඩා උළෙලේදී උතුරු පළාතට දෙවැනි රන් පදක්කම හිමිකර දුන් අනීතා වසර එකහමාරකට ආසන්න කාලයක් පාදයේ ආබාධයක් හේතුවෙන් තරග බිමෙන් ඉවත්ව සිටි ක්‍රීඩිකාවකි.

කෙසේ වුවත් ඊයේ ඇගේ රිටි පැනීමේ දස්කම් මීටර 3.30 කට සීමා වූවාය. 2015 සිට 2017 දක්වා වසර තුනේදීම මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඇය තරගාවලියේ වාර්තාවට මෙන්ම (මීටර 3.48) මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවට ද (මීටර 3.55) හිමිකම් කියයි.

මෙම ඉසව්වේ ගියවර රන් පදක්කම්ලාභිණිය වූ ෂානිකා කෞශල්‍යා පෙරේරාට මෙවර හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ඇය ගිය වර රන් පදක්කම දිනාගත්තේ මීටර 3.20 කටය. ඊයේ උදෑසන මළල ක්‍රීඩා තරගාවලිය ආරම්භ කරමින් පැවැති ඉසව් කීපයකදී දැක්වූ දක්ෂතා අනුව මිටිය විසි කිරීම - පිරිමි ඉසව්වේ ජය අත්වූයේ දකුණු පළාතේ එම්.ඩී.ආර්. සිසිර කුමාරටය. ඒ මීටර 47.67කටය. අංජානි පුලවංශ මීටර 5.96 කට දුර පැනීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගත්තේ දකුණු පළාත නියෝජනය කරමිනි.

මේ අතර අසංක රත්නසේන මීටර් 400 කඩුලු පැන දිවීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම තත්පර 54.05 කට දිනා ගන්නා අතර එහි රිදී පදක්කම තත්පර 54.38 කට හිමිවූයේ ඔහුගේ බාල සොහොයුරු අසිත රත්නසේනටය. මොවුන් සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර තරග වදින අතර වසර 2016 සිට අසංක රත්නසේන මෙම ඉසව්වේ ජාතික මහ ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභියා බවට පත්ව සිටියි.

මෙහි ශ්‍රී ලංකා වාර්තාවට (තත්පර 49.44) හා තරග වාර්තාවට (50.17) හිමි කම් කියන්නේ මෙවර ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමේ අවස්ථාවට එක්වූ හරිජන් රත්නායකයි. ඊයේ පැවැති මීටර් 200 කාන්තා හා පිරිමි ඉසව්වෙහි ජයග්‍රහණ පිළිවෙළින් අමාෂා ද සිල්වා (මධ්‍යම- - තත්පර 25.00) හා සුබේෂ් වික්‍රමසිංහ (වයඹ - තත්පර 22.15) ට හිමි වූහ.

ගයාන් සම්පත් ඌව පළාතට ඊයේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා දුන්නේ දුර පැනීම (පිරිමි) ඉසව්වෙනි. ඔහුගේ පිම්ම මීටර 7.34 ක් විය. මෙවර ඔහුගේ දක්ෂතා කැපීපෙනෙන්නේ ගියවර ක්‍රීඩා උළෙලේදී ඔහු සිව්වැනි ස්ථානයට පත් ක්‍රීඩකයා වූ බැවිනි.

මෙහිදී කැපීපෙනුණුම සිදුවීම වන්නේ මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අමිල ජයසිරි (මීටර 8.15) පරාජයට පත් කරමින් ගයාන් සම්පත් දැක්වූ දස්කම්ය. තරගාවලියේ වාර්තාව වසර 1999 දක්වා ඈතට දිවයන අතර එහි හිමිකරු වන්නේ (මීටර 7.86) හිටපු ජාතික දුර පැනීමේ ශූර සුජිත් රෝහිතයි.

උස පැනීම (පිරිමි) ඉසව්වේදී මීටර 2.12ක දක්ෂතාවයක් දැක්වූ තිවංක පෙරේරා බස්නාහිර පළාත නියෝජනය කරමින් එහි රන් පදක්කම හිමිකර ගත්තේය. දකුණු පළාතේ ශ්‍යාමා දුලානි විනාඩි 1 තත්පර 02.02කට මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්ව ජය ගත්තාය. ඇය මෙම ඉසව්වේ ගියවරත් රන් පදක්කම් ලාභිණියයි.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ ඉසව් ඊයේ රාත්‍රිය දක්වා පැවැත්වෙමින් තිබුණ අතර එතෙක් පැවැති තරග ඉසව්හි කැපී පෙනෙන්නේත් වසර ගණනාවකට පසුව තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් අවම දක්ෂතා වාර්තා වීමයි.

ක්‍රීඩා උළෙල සඳහා රුපියල් මිලියන 100ක පමණ වියදමින් බදුල්ල වින්සන්ට් ඩයස් පිටිය නවීකරණය කර තිබෙන නමුත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තණකොළ සහිත ධාවන පථයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් අඩු දස්කම් ප්‍රදර්ශනය වීම ඊට හේතුවයි. පිටියේ ඉසව් සඳහා ද ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වය බලපෑමක් කර තිබේ.

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය හැරෙන්නට බොක්සිං, කායවර්ධන, මල්ලවපොර, පාපන්දු යන ක්‍රීඩා ඉසව් අද හා හෙටත් (26-27) බදුල්ල නගරයේ ස්ථාන කීපයකදී පැවැත්වීමට නියමිතව තිබුණි. පිරිමි ජූඩෝ තරගාවලිය අවසානයේදී එහි කාන්තා ඉසව් 14කින් රන් පදක්කම් දිනා ගනිමින් එහිදී ඉහළම දක්ෂතා පළ කිරීමට මධ්‍යම පළාත සමත්විය. ජූඩෝ තරගාවලිය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදී පවත්වා අවසන් කෙරුණි.

හෙට (27) පස්වරු 1.30ට ක්‍රීඩා උළෙලේ නිමාව සටහන් කරමින් සමාප්ත උත්සවය පැවැත්වේ. ඒ සඳහා නිල වශයෙන් ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලබා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා බදුල්ලේදී පැවැසුවේ මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහා ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට හා ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මණ්ඩලයට ආරාධනා කළත් ඔවුන් කිසිවකුත් සමාරම්භක උත්සවයට පැමිණ නොසිටි බවයි.

මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන හයක් පමණ වටිනා මෝටර් රථ දෙකක් තෑගි ලෙස පිරිනැමේ.


 

ඡායාරූප : බදුල්ල පාලිත ආරියවංශ

 


අදහස් (0)

පළමු රන් පදක්කම අනීතාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.