Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලධාරීන් විනය පරීක්‍ෂණයට සූදානම්

නිලධාරීන් විනය පරීක්‍ෂණයට සූදානම්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයට ක්‍රීඩා නිලධාරීන් සහභාගි නොවීම වරදක් බව ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු චක්‍ර ලේඛනයක සඳහන් නොවන බවත් ඔවුන් නිහඬව කළ වර්ජනයට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයා විනය පරීක්ෂණයක් කැඳවන්නේ නම් ඊට මුහුණදීමට සිය සංගමය සූදානම් බවත් සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා ලංකාදීපයට පැවසීය.

මාතර කොටවිලදී පැවති 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය වර්ජනය කරමින් ඊට සහභාගි වී සිටි ක්‍රීඩා නිලධාරීන් පිරිසක් පිටියේ කොණක එක්රැස්වී සිටීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කැඳවන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කර තිබේ. ඒ පිළිබඳව ලංකාදීපයට අදහස් දැක්වූ රෝහණ ජයලාල් මහතා මෙසේ ද පැවසීය.

“ක්‍රීඩා අමාත්‍යංශයේ චක්‍රලේඛනයක හෝ වෙනත් කිසිදු ලියවිල්ලක ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයට ක්‍රීඩා නිලධාරීන් සහභාගිවීම අනිවාර්යය කර නෑ. මේ සිදුවීමට පසුබිම්වූයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපයයි”

“රුමේෂිකා රත්නායක මීටර් 100 (කාන්තා) ඉසව්වෙන් අවසන් තරගයට කෙළින්ම සහභාගි කළාට අපේ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි එතනදී අහන්නේ මේ වගේ අවස්ථාවක් ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට ගොස් පැමිණි ඉඳුනිල් හේරත් ඇතුළු තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකු ඉල්ලා සිටියා. නමුත් ඔවුන්ට ඒ අවස්ථාව ලබා දුන්නෙ නෑ”

“ඒ නිසා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රටේ ක්‍රීඩා නීතිය මේ විදියට දෙවිදියකට යොදාගන්න හදන්නෙ ඇයි කියලා. ඔය කියන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කරලා තියෙන්නේ ක්‍රීඩාවේ පවතින යහගුණය විනාශ කිරීමයි. මේ විදියට කටයුතු කළොත් අපට නිහඬ විරෝධයෙන් ඔබ්බට යන්නට සිදුවේවි” යයිද රෝහණ ජයලාල් මහතා පැවසීය.

“ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට අපේ සංගමයේ කිසිදු විරෝධයක් නෑ. ඉදිරියටත් එතුමා සමග අප සහයෝගයෙන් වැඩ කරනවා. නමුත් විනය පරීක්ෂණයක් තිබ්බොත් ඊට මුහුණ දෙන්නත් අපේ සංගමය සූදානම් වෙලා ඉන්නවා.” යයිද හෙතෙම පැවසීය.

 


අදහස් (0)

නිලධාරීන් විනය පරීක්‍ෂණයට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.