Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තිරෙන් පිටුපස සිට ඇමතිවරු වැඩට බසිති

තිරෙන් පිටුපස සිට ඇමතිවරු වැඩට බසිති

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොත දක්වා සිය ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට දෙපාර්ශ්වයම උනන්දුවීමත් ඒ සඳහා ඇතැම් මැති ඇමැතිවරුන්ගේද මැදිහත්වීමත් නිසා හෙට (23) පස්වරු 5.00 ට ඔලිම්පික් නිවහනේදී පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු මුහුණුවරක් ගෙන තිබේ. 

 සභාපති ධූර අපේක්‍ෂකයන් වන රොහාන් ප්‍රනාන්දු හා සුරෙෂ් සුබ්‍රමනියම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ශ්ව දෙකක් තනතුරු 12ක් සඳහා නාමයෝජනා බාරදී  තිබේ.

මෙවර ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ සුවිශේෂත්වය වන්නේ එය වසර 9 කට පසුව පැවැත්වීමයි. අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයක් පැවැත්වූයේ 2009 දීය. 


සිව් වසරකට වරක් පැවැත්විය යුතු ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය 2013 දෙසැම්බර් 27 වැනිදා කැඳවීමට නියමිව තිබිණ. එහෙත් ක්‍රීඩා පනතේ නව  රෙගුලාසි සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ එය වරින් වර කල් ගියේය. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත අන්තර් ජාතික ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූල නොවන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙනු ලැබ ඇතත්, මේ දක්වාම එය නිසි ලෙස විසඳා ගැනීමට ශ්‍රී ලංකාවේ ඒ සඳහා මැදිහත්ව සිටින පාර්ශ්ව අපොහොසත්ව තිබේ. මෙම ප්‍රශ්නයට සංකීර්ණ ලෙස මැදිහත්වූ ක්‍රීඩා ඇමැතිවරුන් ගණන තිදෙනෙකි.


මේ මොහොතේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතින අතර දක්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ නිලවරණයට තරග වදින දෙපාර්ශ්වය එකිනෙකාට දැඩි ලෙස චෝදනා කර ගනිමින් වාග් ප්‍රහාරවලට මැදිවීමයි.


ඔලිම්පික් කමිටුවේ නිලවරණය නිරීක්‍ෂණය සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයෙක් මේ වන විට දිවයිනට පැමිණ සිටී. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමුවී ඇත්තේ නිලවරණයට ඉදිරිපත්ව සිටින පාර්ශ්වකරුවන් අතර පැන නැගී තිබෙන ආරවුල් තත්ත්වයත් නිසා එය වඩාත් සංකීර්ණ  තත්ත්වයක් ගෙන ඇති බැවිනි. 


මෙවර නිලවරණය නව රෙගුලාසි කිහිපයකට යටත්ව පැවැත්වේ. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලයේ සංයුතිය නිලධාරීන් 12කට සීමා කර තිබේ. 


කෙසේ වෙතත් ඒ සඳහා සහභාගි කර ගන්නා ජාතික ක්‍රීඩා සංගම් ගණන 24 සිට 31 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙවර අලුතින් නිලවරණයට ජාතික ක්‍රීඩා සංගම් හතක් එක්ව සිටියි. 


ඒ අතර නිලවරණයේදී ඡන්ද දෙකක් හිමිකර ගැනීමේ වරප්‍රසාදය හිමිකර ගෙන තිබූ ක්‍රීඩකයන්ගේ කමිටුවේ එම ඡන්ද බලය අහෝසි කිරීමට නිලවරණ කමිටුව අවසන් මොහොතේ කටයුතු කිරීම නිසා නිලවරණයේ මුළු ඡන්ද එකතුව 31කට සිමාවී තිබේ.


සභාපති ධුරයට පත්වීමට අපේක්‍ෂා කරන්නකු අවම වශයෙන් ජාතික ක්‍රීඩා සංගම් 16ක මනාපය ලබාගත යුතුව ඇත.  මෙම නිලවරණයේදී එක් ජාතික ක්‍රීඩා සංගමයකට හිමිවන්නේ එක් ඡන්දයක් පමණි. එය රහස් ඡන්දයකි.


මෙතෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාත්මකවූ නිලධාරී මණ්ඩලය සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති ධුර හයක්, උප ලේකම් ධුර දෙකක් හා උප භාණ්ඩාගාරික ධුරයකින් සමන්විත විය.


 නමුත් හෙට පැවැත්වෙන නිලවරණයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලයට සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට උප සභාපති ධුර හතරක්, උප ලේකම් ධුරයක් සහ භාණ්ඩාගාරික ධුරයකට සිමාවී තිබේ. ඒ හැරෙන්නට ක්‍රියාකාරී කමිටුව සඳහා සභිකයන් තිදෙනකු නිලවරණයෙන් තෝරා ගැනේ.


මෙම නිලවරණයේදී ශ්‍රී ලංකා හොකී  සම්මේලනයට හා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම් පිරිනැමීම සම්බන්ධයෙන් උද්ගතව තිබූ ආරවුල ඊයේ වනතුරුත් විසඳී නොතිබුණි.


එම ජාතික ක්‍රීඩා සංගම් දෙකම මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතට ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් අතුරු කමිටු ලෙස ක්‍රියාත්මක වෙයි. එවන් තත්ත්වයක් තුළ මෙම සංගම් දෙකටම ඡන්ද බලය දීම ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේද දැඩි විරෝධය එල්ල විය.

ගැසට් නිවේදන මගින් එම සම්මේලන දෙකෙහිම ක්‍රියාකාරිත්වය තහනම් කර තිබියදී ඒවාට ඡන්ද බලය දීමට රටේ නීතියට පයින් ගැසීමක් බවද ක්‍රිඩා ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.


මෙවර නිලවරණයට වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහාත ඉදිරිපත් නොවන අතර 1997 සිට එම ධුරය දැරූ ප්‍රනාන්දු මහතාගේ 20 වසරක සේවා කාලය අදින් නිමාවට පත්වේ. එසේ වුවත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයට හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සහයෝගය ලැබී තිබේ. වත්මන් ලේකම්වරයා වන ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ උප භාණ්ඩාගාරික මැක්ස්වල් ද සිල්වා මහතා මෙවරත් ලේකම් ධුරයට තරග වදින්නේ 2009 සිට එම ධුරයට අඛණ්ඩව දරමින් සිටින අතරය. 


වත්මන් භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා (හොකී) ස්වාධීනව යළිත් භාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදී තිබේ. ඒ අතර මේජර් ජනරාල් ඉඳුනිල් රණසිංහ (පැසිපන්දු) ක්‍රියාකාරී කමිටුව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ඉවත් කර ගත්තේය.


ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක (සභාපති), එස්. විරිතමුල්ල හා එස්. ලියනගම යන මහත්වරු නිලවරණය මෙහෙයවන කමිටුවේ කටයුතු කරයි.


 ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා.

 

සුරේෂ් සුබ්‍රමනියම් පාර්ශ්වය 

සභාපති ධුරයට -  සුරේෂ් සුබ්‍රමනියම් (ටෙනිස්)

ලේකම් ධුරයට - මැක්ස්වල් ද සිල්වා (ජූඩෝ) සහ ප්‍රගීත් ප්‍රියංකර පෙරේරා (මල්ලවපොර)

උප සභාපති ධුර (4):- සුමිත් එදිරිසිංහ (හොකී), ජෝශප් කෙනි (සුළං ඔරු), අසංග සෙනවිරත්න (රග්බි), චන්දිම කුමාර මල්ලවආරච්චි (මල්ලපොර) හා මේජර් ජනරාල් දම්සත් ප්‍රනාන්දු (අත්පත්දු)

උප ලේකම් ධුරයට -  චන්දන ලියනගේ (පැසිපන්දු), 

උප භාණ්ඩාගාරික ධුරයට - නිශාන්ත ජයසිංහ (බැඞ්මින්ටන්), 

ක්‍රියාකාරී කමිටුව (ධුර 3) - චානක හසන්ත (පිහිනුම්), ෆයිසාල් හුසේන් (බැඞ්මින්ටන්) හා අජිත් තමෙල් (බර ඉසිලීම).

 

රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය

සභාපති ධුරයට - රොහාන් ප්‍රනාන්දු (රුවල් ඔරු), 

ලේකම් ධුරයට - ප්‍රීති විරාජ් පෙරේරා (හබල් ඔරු)

භාණ්ඩාගාරික ධුරයට - ෂිරන්ත පීරිස් (ඉලක්කයට වෙඩි තැබීම)

උප සභාපති ධුර (4) - අනුර ද  සිල්වා (පාපන්දු), මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා), ඩයන් ගෝමස් (බොක්සිං), කොමදෝරු එච්.යූ. සිල්වා (දුන්නෙන් විදීම)

උප ලේකම් ධුරයට - කංචන ජයරත්න (ටයිකොන්ඩෝ)

උප භාණ්ඩාගාරික ධුරයට - නිෂාන්ත පියසේන (නූතන පංචප්‍රයාම)

ක්‍රියාකාරී කමිටුව (3) - ඒ.එස්. නාලක (වොලිබෝල්), ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩුහරඹ), 

 

ස්වාධීන 

භාණ්ඩාගාරික - ගාමිණී ජයසිංහ මහතා (හොකී) 


අදහස් (0)

තිරෙන් පිටුපස සිට ඇමතිවරු වැඩට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.