Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මහා ක්‍රීඩා උළෙල කල්දමයි

ජාතික මහා ක්‍රීඩා උළෙල කල්දමයි

යොහාන් භාසුර - 2020 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ක්‍රීඩා අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල දින නියමක් නොමැතිව කල්දැමූ බව ක්‍රීඩා අමාත්‍යංශය සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ. කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය අනුව මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල නොවැම්බර් හෝ දෙසැම්බර් මාස දක්වා කල්යෑමේ ඉඩක් පවතින බව ද මෙම ක්‍රීඩා උළෙල සංවිධානයට සෘජුව සම්බන්ධ වන ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසීමේදී ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි. පී. විජේරත්න මහතා පැවසුවේ ජාතික ක්‍රීඩා උළෙල නියමිත දිනට පැවැත්වීමට තරම් රට ස්ථාවර වී නොමැති බවයි. ඒ හේතුවෙන් ක්‍රීඩා උළෙල කල්දැමූ බවට පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කර ඇති බවද හෙතෙම පැවසීය.  

“මේ පිළිබඳව තීරණයක් ගන්න පළාත් නවයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් කොළඹට කැඳවන්න අපි තීරණය කළා. හෙට (27 වැනිදා) අපි ඔවුන්ව දැනුවත් කරනවා. අපි එහිදී ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන්ට කොළඹට පැමිණීමට ඇති හැකියාව වගේ දේවල් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. යාපනය වගේ දුර පළාත්වල අයත් එන්න ඕනෙනේ. කෙසේ වෙතත් හැකි ඉක්මනින් සාකච්ඡා කරනවා”

“ජූලි මස 10 වැනිදාට පෙර පළාත් තරගාවලි අවසන් කරන්න සැලසුම් කරලා තිබුණා තමයි. නමුත් රටේ ඇති වූ තත්ත්වය අනුව ක්‍රීඩා කරන්න ලැබුණෙ නෑ නේ”

“ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කරලා තියෙනවා ක්‍රීඩා සංඛ්‍යාව අඩු කරලා තරගාවලිය පවත්වන්න. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා”

“දැන් අපි ජාතික ක්‍රීඩා උළෙලට නව කාලසටහනක් සකස් කරමින් ඉන්නවා. පහුවෙලා හෝ ක්‍රීඩා උළෙල පවත්වන්න තමයි අපි කටයුතු කරමින් ඉන්නේ” යැයි විජේරත්න මහතා වැඩි දුරටත් පැවසීය.    

මෙවර ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති අදියර සැප්තැම්බර් මස මුල කොළඹදී හෝ මඩකළපුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. එම ක්‍රීඩා උළෙල මෙවර අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය ජනවාරි මස පැවසීය.

පිරිවැය අවම කිරීමේ අදහසින් ක්‍රීඩා අමාත්‍යංශය මෙවර ජාතික ක්‍රීඩා උළෙල අදියර තුනකින් පැවැත්වීමට සැළසුම් කර තිබූණි. ඒ අනුව පළමු අදියර කොළඹදී ද, දෙවැනි අදියර අනුරාධපුර සහ පොළොන්නරුව කේන්ද්‍රකරගනිමින් උතුරුමැද පළාතේ ද, අවසන් අදියර කොළඹදී හෝ මඩකළපුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.  

ජාතික මහා ක්‍රීඩා උළෙලට කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමට පෙර ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් සහ පළාත් යන තරගාවලි තුනක් පැවැත්විය යුතුව තිබුණ ද ඇතැම් පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග ද තවමත් අවසන් කර නොමැති බව වාර්තා වේ.

 


අදහස් (0)

ජාතික මහා ක්‍රීඩා උළෙල කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.