Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ක්‍රීඩා උළෙලේ තීරණාත්මක සාකච්ඡාව අද

ජාතික ක්‍රීඩා උළෙලේ තීරණාත්මක සාකච්ඡාව අද

නාමල් පතිරගේ - 2020 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
මෙම වසර අගට යොදා ගෙන තිබෙන 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පැවැත්ම තීන්දු කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අද (23 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව අද පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කොවිඩි වසංගත තත්ත්වය වර්ධනය වීමත් සමග මෙම වසරට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පැවැත්ම පිළිබඳව දිගින් දිගටම අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව තිබුණි. පසුගිය ඔක්තෝබර් 10-11 දෙදින කතරගමදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම‌, මැරතන් සහ පාපැදි තරග යළිත් දින නියමයක් නොමැතිව කල් දැමිණ.

කල් දැමීමට සිදුවූ ජාතික මහ ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ තරග පසුගිය ආගෝස්තු මාසයෙන් පසුව යළිත් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දුන්නේය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන් හා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අතර ක්‍රීඩා අමාත්‍යාංශයේදී විටින් විට පැවැති විශේෂ සාකච්ඡා වට කිහිපයකින් පසුවය.

කෙසේ වුවත් අනපේක්ෂිත ආකාරයෙන් යළිත් රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක අනතුර උද්ගතවීමත් සමග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් 18-19-20 යන දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රට පුරා කොරෝනා දෙවැනි රැල්ලක පැතිර යාම හේතුවෙන් 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා දින නියමයකින් තොරව කල් දැමීමට බොහෝ දුරට තීන්දු කරනු ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යාංශය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ක්‍රීඩා උළෙල පැවැත්වීමට එකඟ වූයේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ ඒ සඳහා අනුමැතිය ලැබීම හේතුවෙනි.

ජාතික මහ ක්‍රීඩා උළෙල 1972 දී ආරම්භ වීමෙන් පසු එය අවලංගු වූ එකම අවස්ථාව වාර්තා වන්නේ 1983 දී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ ක්‍රීඩා උළෙලය. ඒ රට තුළ එම වසරේ ජුලි මාසයේ උද්ගත වූ ජාතිවාදි ගැටුම් හේතුවෙනි.

46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මෙතෙක් සාර්ථකව අවසන් කරගත් එකම ක්‍රීඩා ඉසව්ව වූයේ පසුගිය මාර්තු 15 වැනිදා නුවරඑළියේදී පැවැති ජාතික රට හරහා දිවීමේ තරගාවලියයි.
එහිදී දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න හා බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර එහි කාන්තා හා පිරිමි රන් පදක්කම් දිනා ගත්හ.

මේ අතර සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩා උළෙල මෙම වසරේදී සංවිධානය කිරීමට තමන් එකඟ බවයි.

 


අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙලේ තීරණාත්මක සාකච්ඡාව අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.