Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ක්‍රීඩා උළෙල තියන්න පළාත් අධ්‍යක්ෂවරු එකඟ වෙති

ජාතික ක්‍රීඩා උළෙල තියන්න පළාත් අධ්‍යක්ෂවරු එකඟ වෙති

නාමල් පතිරගේ - 2020 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා උළෙලේ අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරග ඔක්තෝබර් 31වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ලබාදුන් ප්‍රතිඥාවක් අනුව මෙම වසරට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (11 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගන්නා ලද බව ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා පැවසීය.  

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවට විජේරත්න මහතා හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා ශිලා ද සේරම් මහත්මියද සහභාගිවූවාය.

මෙම සාකච්ඡාවට සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සහභාගිවූ අතර ඔවුන්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ මෙම වසරට නියමිත 46වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල වසර අවසානයට පෙර පවත්වා අවසන් කළ යුතු බවය.  

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීමට පෙර  ක්‍රීඩා අමාත්‍යාංශය 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල එළඹෙන සැප්තැම්බර් 4, 5, 6 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහි මලල ක්‍රීඩා තරගාවලිය කොළඹදී පැවැත්වෙන අතර සෙසු කණ්ඩායම් ක්‍රීඩා ඉසව් ගණනාවක් දිවයිනේ පළාත් කීපයකදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

අයි.පී. විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ දැන් රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය අනුව ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර නොවැම්බර් හා දෙසැම්බර් අතර  කාලසීමාවේ යොදාගත් දිනවලදී පැවැත්මට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටිව බවයි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වසර ආරම්භයේදී සකස් කළ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ක්‍රීඩා තරග සැළැස්මද සංශෝධනය කෙරේ.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ඊයේ සාකච්ඡාවේදී කළ දැනුවත් කිරීම අනුව ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග බහුතරයක් කොරෝනා වසංගතයට පෙර පවත්වා නිමකර තිබේ.  ඉතිරිව තිබෙන අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරග ඔක්තෝබර් 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ හැකි බව අවධාරණය කර ඇත්තේ මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් පවතින යහපත් වාතාවරණය කෙරෙහි  අපේක්ෂා පළකරමිනි.

1972 දී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙල , 1977, 1983, 1987 යන වසරවලදී පමණක් රට තුළ උද්ගතවූ යම් යම් අර්බුදකාරි තත්ත්වයක් මැද පවත්වා නොමැත. ඒ අනුව වසර 33කට පසුව පළමු වතාවට ජාතික මහ ක්‍රීඩා උළෙල නොපැවැත්විමේ අවදානම ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පහව ගොස් තිබේ.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා පළාත් යන ක්‍රීඩා උළෙලේ මුල් අදියර තරග සඳහා කෙරෙන ගෙවීම් වැඩිකරන ලෙසයි.
ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමුකරන බව එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඔවුනට ප්‍රතිඥාදී තිබේ.

මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික මහ ක්‍රීඩා උළෙලේ මුල් අදියර ලෙස පැවැත්වෙන අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලි සඳහා රුපියල් ලක්ෂයක් බැගින්ද, දෙවැනි අදියර වන අන්තර් දිස්ත්‍රික්  තරගාවලියක් සඳහා රුපියල්  ලක්ෂ දෙකක්ද (2), දෙවැනි අදියර  වන අන්තර් පළාත් තරගාවලියක් සඳහා රුපියල් ලක්ෂ තුනක් (3) බැගින්ද ප්‍රදානය කෙරේ.

අවසන් අදියර ලෙස ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ පළාත් තරග ජයග්‍රාහකයන් අතරේය.


අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙල තියන්න පළාත් අධ්‍යක්ෂවරු එකඟ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.