Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔලිම්පික් කමිටුවට අනතුරු ඇඟවීමක්

ඔලිම්පික් කමිටුවට අනතුරු ඇඟවීමක්

නාමල් පතිරගේ - 2019 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටේ නීතියට අවනත නොවන්නේ නම් ජාතික ඔලිම්පික් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යාංශ පවත්වාගෙන යන සබඳතා අත්හැර දමන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසයි. ස්විට්සර්ලන්තයේ ‘ලුසාන්’ නුවර පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධානින් කැඳවීම පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඔහු එසේ පැවසීය. 

ක්‍රීඩා පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගි වූයේ අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා හා එම අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාය. 

එහිදී පැන නැගුණු කරුණු සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමක දී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ජාතික ඔලිම්පික් කමිටුව කෙරෙහි රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සළකා කටයුතු කළ යුතු බවටත් එහි කටයුතුවලට මැදිහත්වීම් නොකරන ලෙසත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශය ක්‍රීඩා අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමුව ඇතැයි ද පැවසීය. 

“ඔලිම්පික් කමිටුව එන්.ජී.ඕ. එකක් කියලා අපේ අමාත්‍යාංශයට ඒකට මැදිහත් වෙන්න එපා කියනවා. ඔවුන්ගේ රැස්වීම්වලට අපේ සහභාගිත්වයත් එපා කියලා ඔවුන් කියනවා. අපේ මතය ජාතික ඔලිම්පික් කමිටුවත් රටේ නීතියට යටත්විය යුතුයි කියලයි”

“අද ඔලිම්පික් කමිටුවේ හැසිරීම හරිම කනගාටුදායකයි.... සභාපතිවරයා නම්‍යශීලි වුණත් එහි ලේකම්වරයාගේ ක්‍රියාකලාපය අනුමත කරන්න බෑ. අපි සාකච්ඡාවක දී ඇහුවා ඉදිරියේ දී එන සාග් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔයාලාට මොනවද කරන්න පුළුවන් කියලා”

“එතකොට කමිටුවේ ලේකම්වරයා කිව්වේ ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම් පරිගණක ගත කරලා යැවීම හැරෙන්නට අපිට වෙන මොකවත් කරන්න බෑ කියලා. ඔයාලා පසුගිය අවුරුද්දටම රටේ ක්‍රීඩාව වෙනුවෙන් වැය කරලා තියෙන්නේ මිලියන 5.7 ක් විතරයි. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ කාලය තුළදී මිලියන 3000 ක විතර වැඩ කරලා තියෙනවා” 

“ඒ කමිටුවට රජයේ මූල්‍යාධාරත් යනවා. නමුත් ඒ අය කියනවා ශ්‍රී ලංකා රජයට ඒ ගනුදෙනු සොයන්න අයිතියක් නෑ කියලා. ඒක රටේ ස්වෛරීභාවයටත් හානිවන ප්‍රකාශයක්. ඒ නිසා ජාතික ඔලිම්පික් කමිටුවත් එක්ක ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය ගනුදෙනු කළ යුත්තේ කෙසේදැයි අපට දැඩි තීරණයක් ගන්න වෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා” යයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති ක්‍රීඩා හමුවක දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රශ්නය හමුවේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ගැටලුකාරි තත්ත්වයක් මතු වුවහොත් ජාත්‍යන්තර තරගාවලි නියෝජනයට එක්සත් ජාතින්ගේ කොඩිය යටතේ වුවද ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බවයි. 


අදහස් (0)

ඔලිම්පික් කමිටුවට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.