Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔලිම්පික් කමිටු නිලවරණය ජනවාරි 9 දා

ඔලිම්පික් කමිටු නිලවරණය ජනවාරි 9 දා

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන ජනවාරි 9 වැනිදා පැවැත්වීමට අද (9) පස්වරුවේදී පැවැති එහි මහා සභා රැස්වීමේදී තීරණය විය. ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මේ මස 25 වැනිදා නිකුත් කිරීමටත් නාමයෝජනා බාර ගැනීම  දෙසැම්බර් 15 වැනිදා අවසන් කිරීමටත් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීවේදී තීරණය කෙරුණි.


වසර 2009න් පසුව ඔලිම්පික් කමිටුවේ මහ සභාවක් රැස්වූ පළමු අවස්ථාවේදී ගනු ලැබූ සෙසු වැදගත් තීරණ අතර සභාපතිවරයා හා ලේකම්වරයාගේ ධුර කාලයන් දෙවතාවකට පමණක් සීමාකර තිබේ.


ජාතික ඔලිම්පික් කමිටුවේ මහා සභා රැස්වීම සඳහා ජාත්‍යන්තර තහනමකට ලක්ව සිටින බැඞ්මින්ටන් සංගමය හැරෙන්නට සෙසු සියලු ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු සහභාගි වූහ. එය නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හා ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක මිල්ටන් අමරසිංහ යන මහත්වරු සහභාගිවී සිටියහ.


මේ අතර අද ගනු ලැබූ සෙසු තීරණ අතර තුන්ප්‍රයාම හා කඩුහරඹ යන ක්‍රීඩා ඉසව්වලට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා ඉල්ලුම් කර තිබූ තවත් ජාතික ක්‍රීඩා සංගම් පහක් සම්බන්ධයෙන් මීළඟට කැඳවෙන ඔලිම්පික් කමිටු විධායක සභා රැස්වීමේදී තීරණයක් ගැනීමත් තීරණය කෙරිණි.


ඔලිම්පික් කමිටුවේ නිල නාමය සංශෝධනය කිරීම හා එය සමාගම් පනතේ ලියාපදිංචි කිරීම පිළිබඳවත් පසුවට තීරණය කෙරෙන අතර, එහි ධුර දරන නිලධාරීන්ගේ වයස් සීමාව 75න් නොඉක්මවිය යුතු යයි ගෙන ආ යෝජනාවක් ද අද පැවැති මහ සභා රැස්වීමේදී ඉවත් කර ගැනුණි.


මහ සභා රැස්වීම පිළිබඳව ‘ලංකාදීප’ යට අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා, කිසිදු ගිනි පුපුරක් නොඇවිලෙන ආකාරයෙන් මහ සභා රැස්වීම වඩාත් සාමකාමීව පවත්වා අවසන් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් පැවසීය.


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණය ජනවාරි 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.