Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අරවින්දන් වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ දමයි

අරවින්දන් වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ දමයි

editorial - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ අනුරාධපුරයේ සිට)

අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී අද (28) ආරම්භ වූ 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දී වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට මීටර 800 ක්‍රීඩක චන්ද්‍රකුමාරන් අරවින්දන් සමත් විය.

අද දිනය මලල ක්‍රීඩා නව වාර්තා දෙකකට පමණක් සීමා විය. මීටර 800 - වයස 20න් ඉහළ පිරිමි ඉසව්වෙන් එහිදී චන්ද්‍රකුමාරන් අරවින්දන් විනාඩි 1 තත්ත්පර 54.24කට මෙවර තරගාවලියේ (2019) පළමු ක්‍රීඩා වාර්තාවට හිමිකම් කීය. ඔහු බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණි.

එම වාර්තාවට මීට පෙර හිමිකම් කියූ කළුතර දිස්ත්‍රික්කයේ එම්.පී.ඩබ්ලිව්. සිල්වා වසර 2002 දී විනාඩි 1 තත්ත්පර 54.40කට එහි රන් පදක්කම දිනාගෙන තිබේ. අනුරාධපුරයේ දී ඊයේ ආරම්භ වූ 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල වසර 2019 ට නියමිත තරගාවලියයි.

ප්‍රමාදවී පැවැත්වෙන වසර 2019 ක්‍රීඩා උළෙලේ ඊයේ ආරම්භ වූ මලල ක්‍රීඩා තරගාවලිය දෙවැනි වාර්තාව වයස 20න් පහළ කාණ්ඩයෙන් වාර්තා විය. වසර 2011දී රත්නපුර ක්‍රීඩිකා හේමමාලි කරුණාරත්න මීටර 40.01කට පිහිටුවා තිබූ හෙල්ල විසිකිරීම - වයස 20න් පහළ බාලිකා ඉසව්වේ පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වූයේ ලිහිණි කෞෂල්‍යා හපුආරච්චි විසිනි. එහි දෙවැනි ස්ථානයට පත් ආර්.ඩී.එච්. රත්නායක පැරණි වාර්තාව (මීටර් 40.65)අභිබවා යාමට සමත් වූවාය.

ඒ අනුව ඇය වසර නවයකට පසු එහි නව වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය.

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල (2019) අද සහ හෙටත් (29-1) අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි වයස් කාණ්ඩ දෙකකින් මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීම මෙම ක්‍රීඩා උළෙලට පමණක් ආවේණික ය.

මේ අතර අද දිනය නිමාවන විට ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව සඳහා කොළඹ (68) හා කුරුණෑගල (59) යන දිස්ත්‍රික් අතර තියුණු සටනක් ඇතිවී තිබුණි.

පසුගිය වසරෙදී සමස්ත ශූරතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික්කය එහිදී ලකුණු 56ක් ලබා තෙවැනි ස්ථානය දක්වා පහළට වැටී තිබුණි.

කෙසේ වුවත් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සඳහා යතුරුපැදි ප්‍රදානය කරන බැවින් නමගිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙම තරගාවලියට සහභාගිවී සිටියි. එහෙත් ඔවුන් මෙවර යොවුන් ක්‍රීඩා උළෙලට තරග වදින්නේ නුහුරු කාලයක බැවින් හා තණකොළ සහිත ධාවන පථයක බැවින් ඔවුන්ගේ දස්කම් අවම මට්ටමක පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.


අදහස් (0)

අරවින්දන් වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.