Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මිටර 800 ක්‍රීඩිකාවෝ පෙරළියක් කරති

මිටර 800 ක්‍රීඩිකාවෝ පෙරළියක් කරති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


--------------------
නාමල් පතිරගේ
--------------------

පස්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන්ගෙන් පෙරළිකාර දස්කම් රැසක් වාර්තා වූ මීටර් 800 (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඩිල්ෂි කුමාරසිංහ අද (9) සමත් වූවාය. සුගතදාස පිටියේදී අද නිමාවට පත් වූ පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී  විනාඩි 2 තත්පර 02.52 කට තරගය නිමකරමින් ඇය මෙම වාර්තාව පිහිටවූවාය.

සුපිරි ධාවන ශූරියන් සිව් දෙනෙකු  එකට තරග වැදුණු බැවින් මෙම ඉසව්වේ අවසන් තරගයට සුවිශේෂි අවධානයක් යොමුවිය. ඩිල්ෂි අද දිනුම් රේඛාව පසුකරන විට ඇගේ පසුපසින් තෙවැනි ස්ථානයට තරගය නිමා කළ ගයන්තිකා අබේරත්නට එතෙක් හිමිව තිබූ මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව (විනාඩි 2 තත්පර 02.55) අහිමිව ගොස් තිබුණි. ගයන්තිකාගේ අද තරග නිමි කාලය විනාඩි 2 තත්පර 3.64 කි.  මෙම ඉසව්වේ සුපිරි ධාවන ශූරියකව සිටි  නිමාලි ලියනාරච්චි අද දෙවැනි ස්ථානයට තරගය නිමා කළේ විනාඩි 2 තත්පර 03.15ක කාලයක් ගත කරමිනි. මෙම ඉසව්ව නිමා වන විට තවත් විශේෂිත සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි.

සිව් වැනි ස්ථානයට තරගය නිමාකළ චම්පිකා දිල්රුක්ෂි වසර හතරකට පසුව නැවත පුහුණුවීම් අරඹමින් ඉසව්වට තරග වැදුණු ක්‍රීඩිකාවකි. ඇගේ විශේෂත්වය මීට පෙර අවස්ථාවක දී ඇයත් මීටර 800 කාන්තා ඉසව්වේ හිටපු ශ්‍රී ලංකා වාර්තාලාභිණියක් වීමයි. විනාඩි 2 තතත්පර 03.86 කට ඇය සිව් වැනි ස්ථානයට අද තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ එහිද විශේෂත්වයක් ගන්නා බවයි. ඒ මෙම ඉසව්වේ එකම අවස්ථාවේ ධාවනයේ යෙදෙමින් ක්‍රීඩිකාවන් සිව් දෙනකුම වාර්තා කළ හොඳම තරග කාලයන් ලෙස මලල ක්‍රීඩා වාර්තා පොතට එක්වීමයි.

ඒ අතර පස්වැනි ස්ථානයට තරගය නිමා කළ ක්‍රීඩිකාව ද ඒ වනවිට ‘ජයග්‍රහිකාවක්’ බවට පත්ව සිටියාය. කළුතර සිරිකුරුස විදුහලේ ශිෂ්‍යාවක් වන ශානිකා ලක්ෂානි පස්වැනි ස්ථානයට අද මීටර් 800 (කාන්තා) ඉසව්ව නිමා කළේ විනාඩි 2 තත්ත්පර 07.02කටය. ඇයගේ දස්කම් මේ වසරේ ජුලි මාසයේ දී පැවැත්වීමට අපේක්ෂිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා  තරගාවලියට සුදුසුකම් ලැබීමට තරම් ප්‍රමාණවත් විය. මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ කනිෂ්ට කාණ්ඩයෙන් තරග වැදි ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබාගත් දෙවැනියා ඇයයි. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය පළමු වැන්නා විය.

මීටර් 200 (පිරිමි) ඉසව්වේ අද සුවිශේෂි  සිදුවීමක් වන්නේ මොහොමඩ් සෆාන් (තත්ත්පර 20.81) හා කාලිංග කුමාරගේ (තත්ත්පර 20.85)  පළකළ දක්ෂතායි. එය මෙතෙක් දේශීය තරගාවලියක දී එකවර ක්‍රීඩකයන් දෙදෙනකු මීටර් 200 (පිරිමි) ඉසව්වේ දී තත්පර 21 නොඉක්මවා දක්ෂතා දැක්වූ පළමු අවස්ථාව බව ද වාර්තාවේ.  තෙවැනි ස්ථානයට තරගය නිමා කළ අරුණ දර්ශන තත්පර 21.00කට ඔහුගේ මෙතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාවය වාර්තා කිරීමට සමත්ව තිබේ.  මීටර 400 (පිරිමි) ඉසව්වේ සාග් රන් පදක්කම්ලාභියා වන්නේ ද අරුණ දර්ශනයි.

පාසල් සිසුවෙකු වන ටී.ජී.වී. සඳරුවන් මීටර් 16.08  දක්ෂතාවයක් පළ කරමින් අද තුන් පිම්ම (පිරිමි) ඉසව්ව ජය ගත්තේය.  රිටි පැනීම (පිරිමි) ඉසව්ව මීටර් 4.90 කට නිමා කළ යාපනයේ ක්‍රීඩකයෙකු වන එස්. ශූචිකරන්ගේ එම දක්ෂතාවය දෙවැනි වූයේ එහි මෙතෙක් පවතින ශ්‍රී ලංකා වාර්තාවට පමණි. වසර 2017දී මීටර 5.11 කට ඉසුරු සඳරුවන් මෙහි  ශ්‍රී ලංකා වාර්තාව සතු කරගෙන තිබේ.

දින තුනක් පුරා පැවැති මලල ක්‍රීඩා තේරීම තරගාවලිය  අවසානයේදී ජාතික සංචිතයට අලුතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකුම එක් කිරීමට නියමිතය. ඒ අතර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට එක් ක්‍රීඩකයකු හා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගැනීමට තේරීම් තරගාවලිය ඉවහල් විය. තුන් පිම්ම ක්‍රීඩක ටී.ජී.වී සඳරුවන්ට ජාතික සංචිතයට අලුතින් ඇතුළත්වීමේ ඉහළම අවස්ථාවක් උදාවී තිබේ.


අදහස් (0)

මිටර 800 ක්‍රීඩිකාවෝ පෙරළියක් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.