Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දුනුකාර - මධුරිකා ඇවිදීමේ ශූරතා දිනති

දුනුකාර - මධුරිකා ඇවිදීමේ ශූරතා දිනති

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------------------------
නාමල් පතිරගේ කතරගම සිට...
---------------------------------------

පළපුරුදු ඇවිදීමේ ශූරයෙකු සහ ශූරියක වන සඳරුවන් දුනුකාර සහ කල්හාරි මධුරිකා කතරගමදී පැවැති 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම කාන්තා හා පිරිමි ඉසව්වලදී රන් පදක්කම් දිනාගැනීමට සමත්වූහ. මෙම ඇවිදීමේ තරග දෙකම අද (27 වැනිදා) කතරගම රජමාවත අසලින් ආරම්භ විය.

ක්‍රීඩකයන් 52 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 21 දෙනෙකුට එය සීමා විය. රන් පදක්කම් දිනාගත් සඳරුවන් මෙන්ම මධුරිකා ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් කරන්නෝ වෙති.

මීට පෙර 17 වතාවක්ම ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ (පිරිමි) තරගයේ රන්පදක්කම දිනා ඇති හිටපු ප්‍රවීනතම ඇවිදීමේ ශූරයකු වන නිශාන්ත නයනානන්ද මහතා යටතේ පුහුණුවීම් කරන දුනුකාර වසර 2016 සිට මේ දක්වා අඛණ්ඩව ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ (පිරිමි) ඉසව්ව ජයගෙන තිබේ.

ඔහු ජපානයේ වසර 2017 දී පැවැති ආසියානු ඇවිදීමේ ශූරතා තරගාවලියේදී 9 වැනි ස්ථානයට පත්වූ ක්‍රීඩකයායි. එම තරගාවලියේදී ඔහු පෙන්වූ දක්ෂතාවය පැය 01 මිනිත්තු 31 තත්පර 01කි (පැය 01:31.01) කි. කෙසේවුවත් අද තරගයේදී ඔහුගේ ඇවිදීම නිමාවූයේ පැය 01 මිනිත්තු 38 තත්පර 17 කිනි. දුනුකාර යුද හමුදාවේ කාලතුවක්කු බලකායේ සේවය කරයි. ඔහු උතුරු මැද පළාතෙන් තරගයට ඉදිරිපත් විය.

පැය 1 මිනිත්තු 51 තත්පර 19 කින් කාන්තා ඉසව්ව ජයගත් මධුරිකා තරග නිමාවෙන් පසුව පැවසූයේ ඇවිදීමේ ඉසව්වට නුසුදුසු ධාවන පථයක තමන්ට තරග වැදීමට සිදුවීමෙන් අපේක්ෂිත දස්කම් පෑමට නොහැකි වූ බවයි.

“ඇවිදීමේ ඉසව්ව සඳහා ඉහළට නෙරාගිය, කඳු සහිත මාර්ග, වලංගු වන්නේ නැහැ. නමුත් මාර්ගයේ ඇතැම් තැන්වලදී අපට ඒ අත්දැකීම විඳින්න වුණා.” යැයිද කාන්තා තරගයේ නිමාවෙන් පසුව රන් පදක්කම් ලාභීනි කල්හාරි ලංකාදීපයට පැවසුවාය.

ඇය වසර 2017 න් පසුව ජාතික මහ ක්‍රීඩා උළෙලක ඇවිදීමේ රන් පදක්කම නැවත දිනාගත්තේ අද පැවැති තරගයේදීය. ඇයද වසර 2017 ජපානයේ පැවැති ආසියානු ශූරතා ඇවිදීමේ තරගාවලියට සහභාගි වෙමින් 35 වැනි ස්ථානය ලබා තිබේ.

“පසුගිය වසර කීපය තුළ මට අසනීප තත්වයන් තිබුණා. ඒ නිසා පුහුණුවීම් නිසිපරිදි පවත්වා ගෙනයන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී මට ඩෙංගු රෝගය වැළඳුණා. එයින් මා වඩාත් දුර්වල වුණා” යයි කල්හාරි කතරගමදී පැවසුවාය.

තරග මාර්ගය පිළිබඳව දුනුකාර හා මධුරිකා දැක්වූ අදහස් පිළිබඳව තරග සංවිධායකයන් පැවසුවේ කතරගම නගරයේ වඩාත්ම සුදුසු ස්ථානය ඒ සඳහා තෝරාගත් බවයි. මෙම තරගය කතරගම ප්‍රධාන බස් නැවතුම්පළ ආසන්නයෙන් ආරම්භ කිරීමට සූදානම් කර තිබියදීත්, එය කතරගම නගර මධ්‍යයෙන් ඉවත් කර රජමාවතට ආරම්භක ස්ථානය රැගෙන ගියේ ඒ නිසා බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කතරගමදී පැවැති ඇවිදීම හා මැරතන් යන ඉසව් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සැසඳීමේදී කැපී පෙනෙන්නේ යොවුන් ක්‍රීඩකයන් අභිබවා ජ්‍යෙෂ්ඨ හා වයසින් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මුල් පෙලේ ජයග්‍රහණ අත්කරගනු ලැබීමයි.

කාන්තා තරගය 2019 දී ජයගත් පී.බී. හෂානි මෙවර තරගාවලියට ඉදිරිපත් නොවූවාය.
ගාල්ල උඩුගම පදිංචිකාරියක වුවත් බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ කල්හාරි මධුරිකා වසර 2013 දී දකුණු පළාත නියෝජනය කරමින් තරගවැදී එහිදී රිදී පදක්කම ලබා තිබේ.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ඇවිදීමේ ඉසව්වේ හොඳම දක්ෂතාවය මෙතෙක් වාර්තා කර ඇති ක්‍රීඩකයා වන්නේ වසර 2017 නවදිල්ලි නුවරදී පැය 01 මිනිත්තු 30 තත්පර 10ක දක්ෂතාවයක් පළකර ඇති ෂමල් චන්දිතය. ක්‍රීඩිකාව ගීතා නන්දනී රාජසේකරය. වසර 2006 දී ඇය පැය 01 මිනිත්තු 39 තත්පර 12 ක දක්ෂතාවයක් පෙන්වා තිබේ. ෂමල් හා නන්දනීගේ එම දක්ෂතා ශ්‍රී ලංකාවේ ඇවිදීම ඉසව්වේ කාන්තා හා පිරිමි ජාතික තරග වාර්තා දෙක ලෙස අදටත් සුරැකී පවතී.

46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලිය සඳුදා (29 වැනිදා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පිරිමි පාපැදි තරගය සඳුදා පෙරවරු 6.30 ටද, කාන්තා පාපැදි තරගය එදින පස්වරු 3.00 ටද ආරම්භ කිරීමට නියමිතය.


ඇවිදීමේ තරග ප්‍රතිඵල

පිරිමි තරගය (කිලෝ මීටර 20 යි)
1. සඳරුවන් දුනුකාර (උතුරුමැද - 1:38.17)
2. ආර්.එම්.ඩී. රුක්මාල් (ඌව - 1:39.24)
3. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර - 1:42.27)
4. සම්පත් ප්‍රනාන්දු (බස්නාහිර - 1:43.33)
5. එම්.වී. ධනසිරි (මධ්‍යම- 1:45.23)
6. පී.එච්.එස්.එල්. ප්‍රනාන්දු (වයඹ - 1:46.24)    
7. ආර්.සී.ඒ.එස්. රත්නායක (සබරගමුව - 1:46.32)
8. ඒ.පී. කලුපහන (බස්නාහිර - 1:47.08)
9. ඩබ්.එම්.ආර්.සී. වැලිකුඹුර (වයඹ - 1:47.23)
10. ජේ.එම්.පී.වයි. සේකර (නැගෙනහිර - 1:47.32)


කාන්තා තරගය (කිලෝ මීටර 20 යි)

1. යූ.වී. කල්හාරි මධුරිකා (බස්නාහිර - පැය 1 මිනිත්තු 51 තත්පර 19)
2. එල්.එම්.එස්. ජයරත්න  (උතුරුමැද - 1:57.19)
3. ජේ.කේ.එම්.සී. දමයන්ති (ඌව - 1:58.40)
4. දිනූෂා ඩිලානි (දකුණ - 2:03.27)
5. සී.අයි. සේනානන්ද (ඌව - 2:06.14)
6. ෂශිකලා දිල්ෂානි (දකුණ - 2:08.29)
7. ලක්ෂ්මි කල්හාරි (දකුණ - 2:10.45)
8. දිලිනි සඳරේකා (දකුණ - 2.:7.42)
9. සුබෝධා හංසිකා (ඌව - 2:18.08)
10. එම්.සී. ජයතිලක (බස්නාහිර - 2:27.38)

 

46 වැනි ජාතික මහ ක්‍රීඩා - ඇවිදීමේ තරග


අදහස් (0)

දුනුකාර - මධුරිකා ඇවිදීමේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.