Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලල ක්‍රීඩා සංචිතයේ දොරටු අරී

ජාතික මලල ක්‍රීඩා සංචිතයේ දොරටු අරී

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
නාමල් පතිරගේ
---------------------

ජාතික මලල ක්‍රීඩා සංචිතවල දැනට කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලපෑමක් නොවන පරිදි, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දී හෙට (7) පෙරවරුව ආරම්භ වනජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී ඉහළ දක්ෂතා පළ කරන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සංචිතවලට ඇතුළත්වීමේ අවස්ථාව හිමිවේ.

මෙම තේරීම් තරගාවලිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (8-9 දිනවලදී) සුගතදාස පිටියේදී පැවැත්වේ. එහි දී හෙට දිනයේ දී පමණක් තරගාවලිය පස්වරු 5.30 දක්වා පැවැත්වුණත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එය පෙරවරු 11.30 දක්වා පමණක් සීමාවී තිබේ. එම දින දෙකේදීත් තරග ආරම්භ කරන්නේ පෙරවරු 7.00ය.

මෙම තේරීම් තරගාවලිය සඳහා ජාතික සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෘජුවම නිර්දේශ ලබා සිටින අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කළ දැනුම් දීමට අනුව අයඳුම් කරමින් ඊට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් ද වෙති.

තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ එයින් ජාතික කනිෂ්ඨ සංචිතයක් ආරම්භ කිරීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කිරීමයි. කෙසේ වෙතත් ජාතික කනිෂ්ඨ සංචිතය ඉසව් නවයකට පමණක් සීමා කර තිබේ. මීටර 100, මීටර 400, මීටර 800, මීටර 100/110 කඩුලු පැන දිවීම, මීටර 400 කඩුලු පැන දිවීම, උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම සහ හෙල්ල විසිකිරීම කනිෂ්ඨ ජාතික සංචිතය සඳහා වන ඉසව් නවයයි.

සියලුම ධාවන ඉසව් සඳහා පරිසාදන කාලයක් නියම කර තිබේ. පිටියේ ඉසව් සඳහා පරිසාදන මට්ටම් වන උසක් හා දුරක් ලබා දී තිබේ. ඒ අනුව මීටර් 100 (පිරිමි) ඉසව්වේ ජාතික සංචිතයට ඇතුළත් වීමේ පරිසාධන කාලය තත්ත්පර 10.90 කි. එහි කාන්තා ඉසව්වේ එය තත්ත්පර 12.60ත් ලෙස දක්වා තිබේ.

 මීටර 400 (පිරිමි) ඉසව්ව සඳහා 19 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. මීටර් 100 (කාන්තා) ඉසව්ව සඳහා ක්‍රීඩිකාවෝ 16 දෙනෙකු අයැදුම්කර තිබේ. පසුගිය දෙසැම්බර 26 වැනිදා සිට සුගතදාස පිටියේ දී පැවැත්වූ 2020 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියක් පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි ජාතික මට්ටමේ තරගාවලිය මෙයයි.

මෙම වසරට නියමිත 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි 20 සිට 23 වැනිදා දක්වා සුගතදාස පිටියේදීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසූවේ ජාතික හා ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට තවදුරටත් අවස්ථාව තිබෙන තත්ත්වයක් තුළ මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ ආරම්භයක් වන බවයි. එය තම තමන්ගේ අලුත්ම තත්ත්වය නිරීක්ෂණය කිරීමට ලැබෙන අවස්ථාවක් වන බවද ගුණවර්ධන මහතා පැවසීය.

මෙම වසර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාම තීරණාත්මක වසරක් බවට පත්ව ඇත්තේ ලබන ජුලි 18 වැනිදා ඇරඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල හේතුවෙනි. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව සහභාගි වන රටවල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා ලබන ජුනි මස 29 වැනිදා දක්වා අවස්ථාව හිමිව තිබේ. එහෙත්  ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා කිසිවකු සුදුසුකම් ලබා නැත.

මේ වන විට හඳුන්වා දී තිබෙන ප්‍රසාද ලකුණු ක්‍රමයට අනුව මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායකට පංගු ක්‍රමය යටතේ හෝ ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම සඳහා ආසන්න අවස්ථාවක් තිබේ. එම ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 45 දෙනා අතරේ 30 වෙනි ස්ථානය (විනාඩි 09, තත්ත්පර 46.87) පසුවේ.

හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහට ද එම ලකුණු ක්‍රමයට අනුව එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වඩාත් විශ්වාසනීයත්වයක් මේ වනවිට ගොඩනැගි තිබේ.

මීටර් 83.04ක දක්ෂතාවයක් මේ වන විට පෙන්නුම් කර සිටින ඔහු ලෝකයේම හිමි කර ගෙන සිටින ස්ථානය 32කය. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ක්‍රීඩකයන් 32 දෙනකු නිර්දේශකර ගැනීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා සංචිතයේ දොරටු අරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.