Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔලිම්පික් ගැන ජපානයේ මත දෙකක්

ඔලිම්පික් ගැන ජපානයේ මත දෙකක්

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමේ හැකියාවක් තිබෙන බව ජපානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් අද (15 වැනිදා) පැවසීය. ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 100 කටත් වඩා අඩු කාලයක් වුවද කොරෝනා රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවීගෙන යන හෙයින් එවන් තත්ත්වයක් උද්ගත විය හැකි බව හෙතෙම පවසයි. 

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ දෙවැනියා වන ටොෂිරෝ නිකායි මහතා කියා සිටියේ වෛරසයේ පැතිරීම මෙන්ම හානිය ඉතා දරුණු නම් “කිසිම පැකිලීමකින් තොරව” ඔලිම්පික් උළෙල අවලංගු කළ යුතු බවයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් 2020 ඔලිම්පික් උළෙල මේ වසරට කල්දමන ලද නමුත් එහි නිල නාමය “ටෝකියෝ 2020” ලෙසින්ම පවත්වා ගැනිණ. සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනිසිළු ධාවනයට පවා ප්‍රේක්‍ෂකයන් සහභාගි කර නොගන්නා අතර ඒ වෙනුවෙන් මහජන සහයෝගය ද ඉතා පහළ මට්ටමක පවතී. 

කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම්වරයාගේ ප්‍රකාශය ඉතාමත් ඉක්මනින්ම ප්‍රතික්ෂේප කළ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ තවත් නිලධාරියකු පැවසුවේ ඔලිම්පික් උළෙල අවලංගු නොකරන බවයි. 

ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ මහත්මිය කියා සිටියේ ටොෂිරෝ නිකායි මහතාගේ “අදහස් දැක්වීම විකල්පයක් විය හැකියි” යන්නයි. 

“එය (ටොෂිරෝ මහතාගේ ප්‍රකාශය) සෑම ආකාරයකින්ම කිරීටක වයිරසය මර්දනය කළ යුතු බවට කරන දැඩි දිරිගැන්වීමේ පණිවිඩයක් ලෙස මම සලකන්නෙමි,” යයි ටෝකියෝ ආණ්ඩුකාරවරිය පැවසුවාය.

ජපානයේ එන්නත් සම්බන්ධ ඇමතිවරයා කියා සිටියේ ඔලිම්පික් උළෙලේදී ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන්ම ඉවත්කර තැබිය යුතු බවයි. 

“අපි ඔලිම්පික් උළෙල පැවැත්විය හැකි ආකාරයකින් පවත්වමු. ඒත් ප්‍රේක්ෂකයන් එහි නොමැති විය හැකියි” යයි ජපානයේ එන්නත් සම්බන්ධ ඇමති ටාරෝ කොනෝ මහතා පැවසූ බව ‘අසාහි’ පුවත්පත උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 

මේ සියලු ප්‍රශ්න හමුවේ සංවිධායකයින් සහ ඔලිම්පික් නිලධාරීන් තරයේ කියා සිටින්නේ ඔලිම්පික් උළෙල ආරක්ෂිතව ඉදිරියට යන බවයි.  නමුත් ටොෂිරෝ නිකායි මහතා බ්‍රහස්පතින්දා පැවසුවේ සියලුම විකල්ප මේ වන විට සලකා බැලෙමින් තිබෙන බවයි. 

“පවතින තත්ත්වය අනුව අප තීරණයක් ගත යුතුයි” නිකායි මහතා පෞද්ගලික රූපවාහිනී සේවාවක් වන ටීබීඑස් රූපවාහිනී ජාලයට පැවසීය.

“ඒවා තවදුරටත් කළ නොහැකි තත්ත්වයේ පවතින්නේනම් අපි එය පැකිලීමකින් තොරව අවලංගු කළ යුතුයි” යැයි පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහලේකම් නිකායි මහතා පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කිරීම විකල්පයක් ලෙස සලකන්නේ දැයි ඇසූ විට නිකායි මහතාගේ සෘජු පිළිතුර වූයේ  “ඔව් ඇත්තෙන්ම” යන්නයි. 

“ඔලිම්පික් නිසා කොරෝනා වයිරසය පැතිරී ගියොත්, ඔලිම්පික් තියෙන්නේ ඒකටද කියන්න මා දන්නේ නෑ” යයිද හෙතෙම පැවසීය. කෙසේවෙතත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල “වඩා හොඳ අවස්ථාවක්” ලෙස තමා දකින බවත්, “මහජනතාවගේ සහාය ඇතිව ජපානය වඩාත් ඉහළ තලයකට පිවිසීම උද්දීපනය කිරීම වැදගත්” බවත් නකායි මහතා පැවසීය.

“අපට නියත වශයෙන්ම සාර්ථක වීමට අවශ්‍යයි. එසේ කිරීම සඳහා විවිධ ගැටළු විසඳීමට තිබෙනවා. ඒවා එකින් එක විසඳීම වැදගත්” යයිද හෙතෙම පැවසීය. 

- 213


අදහස් (0)

ඔලිම්පික් ගැන ජපානයේ මත දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.