Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉසව් 3 ක ප්‍රගතියට  ලෝක සංගමයෙන් ලක්ෂ 75 ක්

ඉසව් 3 ක ප්‍රගතියට  ලෝක සංගමයෙන් ලක්ෂ 75 ක්

නාමල් පතිරගේ - 2020 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
මලල ක්‍රීඩා ඉසව් තුනක ප්‍රවර්ධන කටයුතු නැංවීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 40000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 75,00,000 ක් පමණ ප්‍රදානය කිරීමට ලෝක මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ. එය කොටස් කීපයකින් ‘‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’’ ආයතනය වෙත ලබාදීමට ඉදිරියේදී පියවර ගනු ඇතැයි වාර්තා වේ.

මෑත කාලයේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව දස්කම් දියුණු කරගත් ඉසව්වන් වන මීටර 3000 බාධක දිවීම (කාන්තා), මීටර 1500 (කාන්තා) හා මීටර 4x400 (පිරිමි) යන මලල ක්‍රීඩා ඉසව් තුනේ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම අරමුදල යොදා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්‍ෂා කරයි.

මෙම නිර්දේශ සඳහා ආසන්නම සිදුවීම් වන්නේ මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නිලානි රත්නායක එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ආසන්න වශයෙන් නිර්දේශ ලබා සීටීමත්, වසර 2018 ආජන්ටිනාවේ බුවනෝස්අයර්ස් නුවරදී පැවැති යොවුන් ලෝක ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා පාරමී වසන්ති මාරිස්ටෙලා ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීම හා 2018 ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 4x400 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායම හොඳම කණ්ඩායම් අට දෙනා අතරට පැමිණෙමින් අවසන් තරගයට සහභාගීවීමේ අවස්ථාව උදාකර ගැනීමත්ය.

පින්ලන්තයේ ‘‘ටෙම්පෙරේ’’ නුවරදී ලෝක කනිෂ්ඨ තරගාවලිය පවත්වා තිබේ.

වසරකින් කල් දමනු ලැබූ ‘‘ටෝකියෝ’’ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩාවෙන් මෙතෙක් සුදුසුකම් මත කිසිඳු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නිර්දේශ වී නොමැත. එසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායකගේ පෞද්ගලික දක්ෂතා විශ්ලේෂණයට අනුව ඇය මේ වනවිට මීටර 1500 කාන්තා ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 30 වැනි ස්ථානයේ දැනට පසුවේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මීටර 1500 කාන්තා ඉසව්වෙන් සුදුසුකම් මත හා පංගු ක්‍රමයට (වයිල්ඩ් කාඩ්) ක්‍රීඩිකාවන් 45 දෙනෙකු නිර්දේශ කිරීමට නියමිතය.

2018 වනවිට 19 හැවිරිදි වියේ පසුවෙමින් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩිකා පාරමී වසන්ති මාරිස්ටෙලා මීටර 3000 බාධක දිවීම (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම ලැබුවේ විනාඩි 6 තත්පර 33.06 ක ඇගේ එතෙක් ඉසව්වේ හොඳම දක්‍ෂතාවය වාර්තා කරමිනි.

එම ඉසව්වේ දස්කම් ප්‍රවර්ධනය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය විසින් ලෝක මලල ක්‍රීඩා ආයතනය වෙත සැපයූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ඉහත මුල්‍යාධාරය ශ්‍රී ලංකාවට සැපයීමට ඔවුන් කටයුතු කර තිබේ.

කෙසේ වුවත් මීට ඉහත අවස්ථාවකදී ලෝක මලල ක්‍රීඩා ශ්‍රී ලංකාවට හෙල්ල විසිකිරීම සඳහා ලබාදුන් බව කියන මුල්‍යාධාරයක් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගත් බවට චෝදනාවක් එල්ලවී තිබුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රේම පින්නවල හා එහි නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන් එක්ව සකස් කර ලෝක මලල ක්‍රීඩා වෙත යොමු කළ ප්‍රගති වාර්තාව කෙරෙහි සිය අවධානය යොමු කරමින් ඉහත මලල ක්‍රීඩා ඉසව් තුනේ ප්‍රවර්ධන කටයුතු නැංවීම සඳහා මෙම විශේෂ අරමුදල් ලබාදී තිබේ.

මෙම අරමුදල් අනුමත වූ බවත් එය කොටස් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන බවත් ලෝක මලල ක්‍රීඩා නොබෝදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වෙත දැනුම් දී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා වැඩසටහන් හා තරගාවලි රැසක් අත්හිටුවා තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා ජාතික ඔලිම්පික් කමිටුව දේශීය මලල ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා මේ වනවිට නිල අනුග්‍රාහක ආයතන දෙකක් දායක කර ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව වසර 2021 සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙල, ආසියානු ශූරතා තරගාවලිය, ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු (වයස 18 න් පහළ) ශූරතා තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි ගණනාවකට සහභාගී වීමට අපේක්‍ෂාවෙන් පසුවේ.

 


අදහස් (0)

ඉසව් 3 ක ප්‍රගතියට  ලෝක සංගමයෙන් ලක්ෂ 75 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.