Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැටිල්ඩා කාල්සන්ට ඔලිම්පික් වරම්

මැටිල්ඩා කාල්සන්ට ඔලිම්පික් වරම්

නාමල් පතිරගේ - 2020 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ද්විත්ව පුරවැසිලාභිණියක් වන අසුන් පැන්නවීමේ යාමේ ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උළෙල (2020) සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. ඇයට ස්වීඩනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පුරවැසිභාවය හිමිව තිබේ. ඇය 35 හැවිරිදි ක්‍රීඩිකාවකි.

මීළඟ ඔලිම්පික් උළෙල ලබන ජූනි 24 වැනිදා සිට අගෝස්තු 9 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වේ. ඒ සඳහා ක්‍රීඩා ඉසව් 50 කට ආසන්න ගණනක් ඇතුළත් වේ.

කෙසේ වුවත් මැටිල්ඩා නිර්දේශ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඒ සඳහා සුදුසුකම් මත නිර්දේශ වී නොතිබුණි. ඒ අනුව ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් වන අතර ඇතැම් ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේ අවස්ථාව ඊට සහභාගි වන රටවලට ලබන ජූනි මාසය අවසන් වන තෙක් ලැබී තිබේ.

එහි විශේෂත්වය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවන් සුදුසුකම් මත නිර්දේශවී නොතිබියදී එම පළමු අවස්ථාව ද්විත්ව පුරවැසිලාභිණියක් විසින් ලබා ගැනීමය. පැවැති 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ එකම අවස්ථාව හිමිකර ගත්තේ ද ද්විත්ව පුරවැසිලාභිණියක් වන ඇමරිකාවේ ජීවත් වන මැරතන් ක්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්න පමණි.

 මහනුවර උපන් මැටිල්ඩා තෙමස් වියේ සිට ස්වීඩන් යුවළක් ළඟ හැදී වැඩී ස්වීඩනයේ කල්ගෙවන්නියකි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කොළඹ දී ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි වූ ඇය පැවසුවේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සිය අපේක්ෂාව සිය ඉසව්වේ අවසන් වටය පිවිසෙමින් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අසුන් පැන්නවීමේ හොඳම ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට පැමිණීම බවයි.

“මා උපන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීම මම භාග්‍යයක් ලෙස සළකනවා. එය මාව හදා වඩාගත් ස්වීඩන් ජාතික දෙමව්පියන්ටත් ආඩම්බර විය හැකි කාරණයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් මම මේ ක්‍රීඩාවට ඕනෑම විදියකින් අත දෙන්නත් සූදානම්” යයි ද මැටිල්ඩා කාල්සන් පැවසුවාය.

අසුන් පැන්නවීමේ කාන්තා ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මේ වන විට දකුණු ආසියාවෙන් නිර්දේශවූ පළමු ක්‍රීඩිකාවත් ආසියාවෙන් නිර්දේශ වූ පළමු ක්‍රීඩිකාවත් බවට පත්ව සිටින ඇය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ ආසන්නම තරගාවලිවලදී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමිනි.

 අන්තර් ජාතික අශ්වාරෝහක සම්මේලනයේ නිල වෙබ් අඩවියට අනුව ඇය පැනීම් 1230 කට සහභාගි වෙමින් ජයග්‍රහණ 16 ක් ලබා තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඇය 280 වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 735 ක් රැස් කරමිනි. අවසන් වරට පසුගිය දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැති ගෝන්-ෆ්‍රී තරගමාලාවකදී සිව් වැනි ස්ථාන ලබමින් සිය අසු පන්නා තිබේ.

 ස්වීඩනයේ දේශීය ක්‍රීඩා සමාජ වෙනුවෙන් මුල් කාලයේ තුරඟ තරග ඉසව් සඳහා සහභාගිවූ ඇය පසුව අසුන් පැන්නීමේ ඉසව්ව තෝරා ගනිමින් ඒ සම්බන්ධයෙන් ජර්මනියේ හැම්බර්ග් නුවරදී විශේෂඥ පුහුණුවීම් හැදෑරුවාය.

මේ වන විට තුරඟ පැනීම් ඉසව්වට යොමුවී ඇය වසර 16 කි. වසර 2017 දී මුල්වරට ඇය උපන් දේශයට පැමිණෙමින් ශ්‍රී ලංකාවේ කළ සංචාරය ඇය නැවතත් ශ්‍රී ලංකාව හා සබඳතා ගොඩනගා ගැනීමේ තීරණාත්මක අවස්ථාව වූවාය. එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ ගැන තමන් දෙවරක් නොසිතන බවයි.

“මා ඉපදිලා තිබෙන්නේ ලෝකයේ ලස්සනම රටක. ශ්‍රී ලංකාවට ආවම මට දැනුනේ ඒ වගේ දෙයක්. ශ්‍රී ලාංකිකයන්ගේ කරුණාවන්තකම මා මේ රටට ආදරය කරන්න තවත් කාරණාවක් වුණා.

 ඉතින් මා උපන් රටේ කොඩිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ළෙලදෙවන්න මට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකාවට කළගුණ දක්වන්න ලැබුණු අවස්ථාවක් ලෙස මා සළකනවා” යයි ජාතික ඔලිම්පික්  කමිටු ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැටිල්ඩා වැඩිදුරටත් පැවැසුවාය.

 මැටිල්ඩා ටෝකියෝ ඔලිම්පික් උළෙලට ප්‍රවේශ වීම තුළින් ඇය මේ වන විට තරග සඳහා යොදාගන්නා  ‘චොපින් වී.ඒ.’ නැමැති අශ්වයා සිය තරග දිවියේ තීරණාත්මක වෙනසක් කළ බවයි. ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදීමට සූදානම් වන්නේ 11 හැවිරිදි චොපින් වීඒ සමගය.

කියන්න කිසිම දෙයක් නෑ. ඔයා තමයි දැන් මගේ හොඳම යාලුවා වෙලා ඉන්නේ.” සිය තරග අශ්වයා ගැන ඇය වැඩිදුරටත් පැවසුවේ එවන් දෙයකි.

අසුන් පැන්නවීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ඔලිම්පික් උළෙලකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසුව මැටිල්ඩා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියාය.


අදහස් (0)

මැටිල්ඩා කාල්සන්ට ඔලිම්පික් වරම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.