Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics හිරුණි අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

හිරුණි අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

නාමල් පතිරගේ - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෝහා - කටාර්හිදී ආරම්භ වූ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මැරතන් (කාන්තා) ඉසව්වට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්න තරගය අතරමගදී ඉන් ඉවත්වූවාය. එහිදී කිලෝ මීටර 21 ක පමණ ධාවනයක නිරතවූ ඇය එතැන් සිට ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත්වන විට ඇය තරගයෙන් අඩක පමණ දුරක් සම්පූර්ණ කර තිබූ අතර ඒ සඳහා ඇය ගතකර තිබූ කාලය පැය 1 විනාඩි 26 තත්පර 22 කි.

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වූ පසුගිය සිකුරාදා (27) දිනයේ කටාර් වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී මැරතන් (කාන්තා) ඉසව්ව ආරම්භවිය. ඒ වන ශ්‍රී ලංකාවට සැප්තැම්බර් 28 දිනය උදාවී තිබුණි. මෙම තරගයෙන් ජයගත් කෙන්යානු ක්‍රීඩිකා රූත් මෙෆෙත් හෙවිම් පැය 2 විනාඩි 32 තත්පර 43කට එහි රන් පදක්කම දිනාගැනීමට සමත් වූවාය.

තරගකාරියෝ 71 දෙනෙකු ඒ සඳහා සහභාගි වූ අතර ඉන් 40 දෙනෙකු තරගය සම්පූර්ණ කරමින් නිමාවට ළඟාවූහ. ඉන් බහුතරයක්ම අප්‍රිකානු හා යුරෝපා රටවල ක්‍රීඩිකාවෝ වූහ.

ඇමරිකාවේ ද පුරවැසිභාවය හිමි හිරුණි කේසරා විජේරත්න හා පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන ඇගේ සැමියාට ඇමෙරිකාවේ සිට ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීම සඳහා කටාරයට පැමිණීමට ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කර තිබිණ.

කේසරාගේ මෙවර ලෝක මලල ක්‍රීඩා සහභාගිත්වයේ වැදගත්කම වන්නේ ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා සුදුසුකම් ලද එකම ක්‍රීිඩිකාව බවට පත්ව තිබීමයි. වෙනත් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක මෙවර ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා නොගැනීම ද කැපී පෙනේ.

 කටාර් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වේ.

වසර 2019 අප්‍රේල් 28 වැනිදා ජර්මනියේ දී පැවැති මෙට්රෝ ගෲප් මැරතන් තරගයේදී පැය 2 විනාඩි 34 තත්පර 10 කට දෙවැනි ස්ථානය ලබමින් කේෂානි මෙවර ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබුවාය. පසුගිය අගෝස්තු 17-18 දෙදින කොළඹ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගිවෙමින් ඇය මීටර 5000 හා මීටර 10000 යන කාන්තා ඉසව්වලට සහභාගිවෙමින් එම ඉසව් දෙකේම ජයග්‍රාහිකාව බවට පත්වූවාය.

දෙසැම්බර් 1 වැනිදා නේපාලයේදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙලට ද ඇය සහභාගිවීමට සූදානමින් සිටියි. කළමනාකරු ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතා ඇයට සහායවීම සඳහා කටාර් නුවරට පිටත්ව ගියේය.

 


අදහස් (0)

හිරුණි අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.