Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුපිරි - ජාතික මලල ක්‍රීඩා සංචිත දෙකට 41 ක්

සුපිරි - ජාතික මලල ක්‍රීඩා සංචිත දෙකට 41 ක්

නාමල් පතිරගේ - 2021 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනකුට සීමා කරමින් සුපිරි හා ජාතික මලල ක්‍රීඩා නව සංචිතයේ නේවාසික පුහුණුවීම් තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව 98 වැනි එහි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතා අනුව නිර්දේශ කළ ජාතික හා සුපිරි මලල ක්‍රීඩා සංචිත ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යොමුකර තිබේ.

මෙතෙක් ජාතික මලල ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 62 දෙනකුද හා සුපිරි මලල ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 27 දෙනෙක්ද ඇ.තුළත්ව සිටියහ.

මෙම මලල ක්‍රීඩා සංචිත තුනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඩු කිරීම ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිල දත්ත සටහන්කරු, ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ එහි විශේෂත්වයක් නැති බවයි.

“කලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 දෙනකු ජාතික සංචිතයට ඇතුළත් වුණේ එය කැඳවූයේ සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කිරීම නිසයි. එතනදී සෑම මලල ක්‍රීඩා ඉසව්වකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේෂ කළා. ඒ වගේම සුපිරි සංචිතයේ කලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනකුම හිටියා. එතනදී සිදුවුණේ සාග් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභීන් බහුතරයක් ඇතුළත් කර සිටීමයි.

නමුත් දැන් මේ සංචිත දෙකම ක්‍රියාත්මක වෙන්නෙ එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය හා ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරලයි. එතනදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේදී මෙම ජාත්‍යන්තර තරගාවලි දෙකට අදාළ ප්‍රමිතිය අවධානයට යොමුකරන්න වෙනවා” යයිද සමන් කුමාර ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

 සුපිරි මලල ක්‍රීඩා සංචිතය තවදුරටත් ස්ථාපිත කර ඇත්තේ ලබන මැයි 20 සිට 23 වැනිදා දක්වා චිනයේ හැංග්ෂු නුවරදී පැවැත්වෙන 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හා ජුලි 23 වැනිදා ජපානයේදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙල ඉලක්ක කරමිනි.

මේ වනවිට මීටර 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල සඳහා දෙවැනි පෙළ සුදුසුකම් ලබාගැනීමේ ආසන්නතම කඩඉමට ළඟාවී සිටිති.

නොබෝදා පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 76.10 ක දක්ෂතාවයක් දැක්වූ යුද හමුදා ක්‍රීඩක සුමේධ රණසිංහ එම දක්ෂතාවයට අනුව ලෝකයේම 33 වැනියා බවට පත්ව සිටියි. ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා ඉසව්වක ඒ වනවිට පසුවන හොඳම32 දෙනාට පමණක් අවස්ථාව හිමිවේ. කෙසේ වුවත් සුමේධ රණසිංහගේ හෙල්ල විසිකිරීමේ මීට පෙර හොඳම දක්ෂතාවය මීටර 83ක් ලෙස වාර්තා වී තිබේ.

චීනයේදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පංගු ක්‍රමයට අනුව උපරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු දක්වා අවස්ථාව හිමිවේ. සෙසු නිර්දේශ සඳහා ශ්‍රී ලංකාව වියදම් දැරිය යුතු බවද වාර්තා වේ.

ඒ අනුව ආසියානු ශූරතා තරගාවලිය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරමින් සුපිරි සංචිතය කැඳවුවත් එහි සියලු දෙනාට ආසියනු තරගාවලියේ අවස්ථාව හිමිවනු ඇතැයි උපකල්පනය කළ නොහැකි යැයි සමන් කුමාර ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා රටකට මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන ජුනි 29 වැනිදා දක්වා හිමිව තිබේ. ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවේ අවසන් නිර්දේශ ලබන අප්‍රේල් මාසයේදී අවසන් තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.


♦ සුපිරි මලල ක්‍රීඩා සංචිතය (පිරිමි)
යුපුන් අබේකෝන් (මීටර100 - මීටර 4x100), හිමාෂ ඒෂාන් (මීටර 4x100), චානුක සන්දීප (මීටර 4x100), විනෝද් සුරංජය සිල්වා (මීටර 4x100), වයි.සී.එම්. යෝධසිංහ (මීටර 4x100), කාලිංග කුමාරගේ (මීටර 400 - මීටර 4x100), ආර්.එම්.ආර්.එන්. රාජකරුණා (මීටර 4x100), අනුර දර්ශන (4x100), ඉසුරු ලක්ෂාන් (මීටර 4x100), පසිඳු කොඩිකාර (මීටර 4x400)

♦ සුපිරි මලල ක්‍රීඩා සංචිතය (කාන්තා)
අමාෂා ද සිල්වා (මීටර 100 – මීටර4x100), දිල්ෂි කුමාරසිංහ (මීටර 800 - මිශ්‍ර සහය), නිමාලි ලියනආරච්චි (මීටර 800), හසන්තිකා අබේරත්න (මීටර් 800 - මීටර 1500), සාරංගි ද සිල්වා (දුර පැනීම - මීටර 4x100), හිරුණි විජේරත්න (මැරතන්), රුමේෂිකා රත්නායක (මීටර 4x100), ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි (මීටර 4x100), සාෆියා යෙමික් (මීටර 4x100), නදීෂා රාමනායක (මිශ්‍ර සහය)

♦ ජාතික මලල ක්‍රීඩා සංචිතය (පිරිමි)
 ඒ.එස්.එම්. සෆාන් (මීටර 200 - මීටර 4x100), ජී.ආර්. චතුරංග (මීටර 800), ඩබ්ලිව්.ඒ.ඩී. කුමාර (මීටර 800), සමන් කුමාර ප්‍රනාන්දු (මීටර 1500), හේමන්ත කුමාර (මීටර 1500), ඒ.කේ. තරංග (මීටර 10000), ඒ.එල්.ඒ.ටී. රත්නායක (මීටර් 400 – කඩුලු), එච්.එම්.අයි.යූ.බී. හේරත් (මීටර 3000 – බාධක), හේශාන් ධනංජය (දුර පැනීම - තුන් පිම්ම) කේ.කේ.ඵම්.කේ. කරුණාසේකර (දුර පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම), අජිත් කුමාර කරුණාතිලක (දශ ප්‍රයාම), වයි.එම්.ඩබ්ලිව්.එස්.ඩී. ගුණරත්න(මීටර 4x400)

♦ ජාතික මලල ක්‍රීඩා සංචිතය (කාන්තා)
ආර්.එම්.අයි.එස්. ඉරේෂා රාජසිංහ (මීටර 100 – කඩුලු), කෞෂල්‍යා පෙරේරා (රිටි පැනීම), අන්ජානි දුල්වංශ (දුර පැනීම), හෂානි පබෝදා ලක්මාලි (හෙල්ල විසි කිරීම), ඩබ්ලිව්.එස්.එච්. ප්‍රනාන්දු (මීටර 4x100)

 


අදහස් (0)

සුපිරි - ජාතික මලල ක්‍රීඩා සංචිත දෙකට 41 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.