Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අවලංගු කරයි

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අවලංගු කරයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘කොරෝනා’ වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ට මාස හතරකට වැඩි කාලයක් පාසල් වසා දැමීමට සිදුවීමෙන් ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඉදිරියේදී පාසල් නැවැත විවෘත කිරීමෙන් පසුව සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ වැඩි අවස්ථාවක් සළසාදීම සඳහා බාහිර කටයුතු සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් කොට්ඨාශ තරග, දෙවැනි අදියර වන අන්තර් දිස්ත්‍රික් තරග සහ තෙවැනි අදියර වන අන්තර් පළාත් තරග පසුගිය අප්‍රේල් මාසයේ සිට ආරම්භ කළ යුතුව තිබිණ. පසුගිය මාර්තු මාසයේ සිට රට තුළ පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් දිවයිනේ පාසල් විවෘත කර නැත.

 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සිසුන් සුදුසුකම් ලබන මූලාරම්භය වන පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අප්‍රේල් මාසයෙන් අවසන්වන පාසල් පළමු වාරය තුළ පවත්වා නිමා කළ යුතුය. එහෙත් උද්ගත වූ තත්ත්වය හමුවේ පාසල් බොහෝමයකට නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමට නොහැකි විය.

 වසර 1984 දී ආරම්භ වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වසරක් හැරෙන්නට වසරක් ජාතික පාසල් ක්‍රීඩා උළෙල ලෙසත් සංවිධානය කෙරුණි. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුනිල් ජයවීර හා ක්‍රීඩා අධ්‍යක්ෂිකා ඔලිවියා ගමගේ මහත්මියගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරිණ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ප්‍රසාද ලකුණු හිමිවෙයි. කෙසේ වුවත් එය වසර තුනක් දක්වා සළකා බැලෙන බැවින් මෙවර ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් සිසුන්ට අසාධාරණයක් නොවන බව අධ්‍යාපන අමත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරියෙක් පැවසීය.

 කෙසේ වුවත් මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වයස 20 න් පහළ බාලක හා බාලිකා ඉසව්ව පමණක් පාදක කර ගනිමින් පැවැත්වීමට දැරූ අවසන් උත්සාහයත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරීන් මේ වනවිට ඉවත් කරගෙන තිබේ.

 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා ඉසව්ව හැරෙන්නට තවත් ක්‍රීඩා ඉසව් ගණනාවක්ම ඇතුළත්ව තිබේ.

 ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට සූදානම්ව සිටින බව ද අමාත්‍යාංශ නිලධාරීහු කියති.

මේ වනවිට ගණන් බලා ඇති පරිදි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවීමෙන් සිසුන්ගේ අධ්‍යාපන පැය 500කට වැඩි ගණනක් අපතේ ගොස් ඇතැයි අධ්‍යාපන විශේෂඥයෝ පවසති.

 


අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.