Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් ශූරයා මුත්තුසාමි දෙදරු පියෙක්

මැරතන් ශූරයා මුත්තුසාමි දෙදරු පියෙක්

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

-----------------------------------------------------------
(නාමල් පතිරගේ සහ කතරගම එම්. කේ. නන්දසේන)
-----------------------------------------------------------

සහභාගි වූ පළමු ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට දෙදරු පියෙකු වන 31 හැවිරිදි මුත්තුසාමි සිවරාජන් සමත් විය. කතරගම දී ඊයේ (26) නිමාවට පත්වූ 46 වැනි (2020) ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්  තරගය පැය 2 යි, විනාඩි 29 තත්පර 29 කට නිමකරමින් මුත්තුසාමි ජයග්‍රාහකයා බවට පත්විය.

සිවරාජන් මධ්‍යම පළාත නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් අතර මැරතන් කාන්තා තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ද මධ්‍යම පළාත නියෝජනය කළ 33 හැවිරිදි විවාහක ක්‍රීඩිකාවකි. ඇය පළපුරුදු දිගු දුර ධාවන ශූරියක් වන වේලු ක්‍රිෂාන්තිනිය.
 
වසර 2014 න් පසුව නැවත වතාවක් ජාතික මහ ක්‍රීඩා මැරතන් (කාන්තා) තරගයක ජයග්‍රහණය හිමිකර ගැනීමට ඇය සමත් වූවාය. ඒ පැය 2 විනාඩි 55 තත්පර 30කදී තරගය නිමා කරමිනි. එය ඇයගේ හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා වේ.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩුවක් දක්නට ලැබුණි.

සිවරාජන්ගේ ජයග්‍රහණයත් සමග ගුවන් හමුදාව  පළමු වරට ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයක ජයග්‍රහණය ලබාගත්තේය.

මැරතන් තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන් තිදෙනාම ගුවන්, යුද හා නාවික හමුදා යන ක්‍රීඩා සමාජවල පුහුණුවීම් හදාරන්නෝ වෙති. එහි විශේෂත්වය ඔවුන් තිදෙනාම ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් මහතා යටතේ පුහුණුවීම් හදාරන්නන් වීමය.

මෙතෙක් කිසිදු ජාත්‍යන්තර මැරතන් තරගයකට සහභාගි වී නැති සිවරාජන් 31 හැවිරිදිය. පුන‍්ඬලුඔය පදිංචිකරුවකු වන සිවරාජන්  මීටර් 10,000 මීටර් 5000 යන දිගු දුර ධාවන ඉසව්වේ ශූරයෙකු ද වෙයි.  

සිවරාජන් සිය ජයග්‍රහණයෙන් පසුව කතරගම දී ‘ලංකාදීප’යට පැවසුවේ දුෂ්කරතා රැසක් මැද පුහුණුවීම් කරන තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමට ඉදිරියේ දී දැඩි අදිටනින් පසුවන බවයි.

සිවරාජන්ගේ ගම් පළාත ආසන්නයේම ක්‍රීඩිකාවක් වන වේලු ක්‍රිෂාන්තිනි පසුගිය (2019) ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවයි. ඇයගේ මෙවර ජයග්‍රහණයත් සමග පසුගිය ක්‍රීඩා උළෙලේ (2019) රන් පදක්කම දිනාගත් නිසංසලා බණ්ඩාර මෙවර තරගයේදී සිව් වැනි ස්ථානය දක්වා පහළට වැටුණි.

ක්‍රිෂාන්තිනි කොළඹ මැරතන් තරගයද ඇතුළුව ඩුබායි හා චීනයේ දී පැවති ජාත්‍යන්තර මැරතන් තරග කීපයකට සහභාගි වූ ක්‍රීඩිකාවකි. ඇය පැවසුවේ ද සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට මීට වඩා පුහුණු පහසුකම් ලැබිය යුතු බවයි. ඇගේ පුහුණුකරු වන්නේ ජෑන්ස් දිසානායක මහතායි.

මෙම මැරතන් තරගාවලියේ රන් රිදී හා ලෝකඩ පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කැඳවන ජාතික මැරතන් පුහුණු සංචිතයට කැඳවා ගැනීමට නියමිත බව ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා කතරගම දී පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මැරතන් තරග අත්හිටුවීමට සිදුවූ අතර අද තරගයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන්හි පැහැදිලි අඩුවක් දක්නට ලැබිණ.

ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකයෙකුගේ මෙතෙක් හොඳම දක්ෂතාවය ලෙස වාර්තා වන්නේ ‘ලන්ඩන්’ මැරතන් තරගයේ දී (2015) අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ දැක්වූ පැය 2 විනාඩි 13 තත්පර 47ක් වන නිමි කාලයයි.

ඒ අතර පැය 2 විනාඩි 34 තත්පර 10 කට හිරුණිකා විජේරත්න  මැරතන් කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නීය. ඒ 2019 වසරේ සිටය.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙවරත් (2020) ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීම හා පාපැදි තරග මාලාව සංවිධානය කිරීමේ දී නෙස්ලේ ලංකා සමාගම ඊට අනුග්‍රහය දැක්වීය.

ජාතික මහ ක්‍රීඩා උළෙලේ  කාන්තා හා පිරිමි ඇවිදීමේ තරගමාලාව අද (27) පෙරවරු 7ට කතරගම ප්‍රධාන බස් නැවතුම් පොල අබියස දී පැවැත්වේ. පාපැදි (රේසින්) තරගාවලිය හෙට (29) එම ස්ථානයෙන්ම ආරම්භ වේ.


පිරිමි තරගයේ ප්‍රතිඵල
1 මුත්තුසාමි සිවරාජන් (මධ්‍යම – පැය 2 විනාඩි 29 තත්පර 29)
2 තිස්ස ගුණසේකර (බස්නාහිර – 2.32.14)
3 ඩබ්.එම්. සිසිර කුමාර (වයඹ – 2.33.45)
4 මිලාන් සඳරුවන් (බස්නාහිර – 2.35.28)
5 අසේල බණ්ඩාර (මධ්‍යම – 2.35.44)
6 ශාන්ත කරුණාරත්න (සබරගමුව – 2.38.10)
7 නිෂාන් මධුරංග (වයඹ – 2.40.07)
8 එන්.පී. සෂේන් (බස්නාහිර – 2.40.27)
9 රෝහිත බණ්ඩාර (වයඹ – 2.40.55)
10 ප්‍රදීප් විජේරත්න (උතුරුමැද – 2.42.26)


කාන්තා තරගයේ ප්‍රතිඵල
1. වේලු ක්‍රිෂාන්තිනි (මධ්‍යම – පැය 2. විනාඩි 55 තත්පර 30)
2 වත්සලා හේරත් (මධ්‍යම – 2.57.15)
3 දිල්හානි ලියනගේ (සබරගමුව – 3.00.19)
4 නිසංසලා බණ්ඩාර (සබරමුව – 3.04.45)
5 මධුමාලි පෙරේරා (බස්නාහිර – 3.07.02)
6 එච්.වී.සී. දමයන්ති (සබරගමුව – 3.12.31)
7 කුමාරි ප්‍රනාන්දු (බස්නාහිර – 3.20.20)
8 එස්. හේමාප්‍රිය (නැගෙනහිර – 3.40.00)
9 එම්.එච්.එම්. ද සිල්වා (සබරගමුව – 4.04.46)
10 එස්.ඩී. හේමන්ති (බස්නාහිර – 4.06.00)


අදහස් (0)

මැරතන් ශූරයා මුත්තුසාමි දෙදරු පියෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.