Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා කාලසටහන වෙනස් කරයි

මලල ක්‍රීඩා කාලසටහන වෙනස් කරයි

editorial - 2019 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ සහ පාලිත ආරියවංශ බදුල්ලේ සිට)

බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේ දී හෙට (25) ආරම්භ වන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සංශෝධනය කිරීමට තරග සංවිධායකයන් පියවර ගෙන තිබේ. මලල ක්‍රීඩා තරගාවලිය හෙට සිට අනිද්දා (27) දක්වා පැවැත්වේ.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ පස්වරුවේ දී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඊට පෙර ඊයේ දහවල් බදුල්ල නගරයට ඇද හැලුණු වර්ෂාවෙන් ක්‍රීඩාංගණයේ තැන තැන ජලය රැඳී තිබුණි.

මෙවර මලල ක්‍රීඩා තරගාවලිය හෙට පෙරවරු 6.30 ට මීටර් 10,000 (පිරිමි) ඉසව්වෙන් ආරම්භ වීමට නියමිතව තිබුණි. එහෙත් වර්ෂාවෙන් පසුව මලල ක්‍රීඩා තරග කාලසටහන සංශෝධනය කිරීමෙන් හෙට සහ අනිද්දා පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා තරග ඉසව් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට පෙරවරු 8.00 ට රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ වේ. හෙට මලල ක්‍රීඩා ඉසව් අවසන් තරග 12 ක් පැවැත්වේ.

ජාතික මහ ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේ දී පැවැත්වීමේ දී එය රුපියල් මිලියන 25ක වියදමින් නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ. රාත්‍රියේ තරග පැවැත්විය හැකි ආකාරයෙන් එහි විදුලි ආලෝක ධාරා පද්ධතියක් ද සවිකර තිබෙන අතර, එය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් ඊයේ විවෘත කෙරුණි.

මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු අවසන් මහ තරගය විදුලි ආලෝක ධාරා පද්ධතියේ සහය ලබමින් හෙට රාත්‍රී අටට වින්සන්ට් ඩයස් පිටියේ දී පැවැත් වේ.

වින්සන්ට් ඩයස් පිටියේ දී  රාත්‍රී කාලයේ පාපන්දු තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව එය වේ. පසුගිය ක්‍රීඩා උළෙලේ දී පාපන්දු (පිරිමි) රන් පදක්කම දිනා ගත් උතුරු පළාත් කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අතර මෙවර පාපන්දු (පිරිමි) අවසන් මහ තරගය පැවැත්වේ.

ඌව පළාත් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැති අලංකාර සංස්කෘතික සංදර්ශනයකින් හා ආචාර වෙඩි මුර මාලාවකින් සමන්විත වූ සමාරම්භක උත්සවයට විශේෂ ආරාධිතයන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල යන මහත්වරු ද සහභාගි වූහ.

වර්ෂාවෙන් බොක්සිං තරගාවලියට ද බාධා එල්ල වූ අතර, එම තරගාවලිය හෙටත් (25) බදුල්ල නගර මධ්‍යයේ පැවැත්වේ.

මලල ක්‍රීඩා තරගාවලිය හැරෙන්නට මෙවර ක්‍රීඩා උළෙලේ තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක්ම බදුල්ලේදී මෙම දින කීපය තුළ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බොක්සිං, පාපන්දු, මල්ලවපොර, කායවර්ධන පැවැත්වෙන සෙසු ක්‍රීඩා ඉසව් වේ.

ජාතික මහ ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භය සනිටුහන් කරමින් හිටපු කඩුලු පැනීමේ ශූර හරිජන් රත්නායක හා හිටපු පාපන්දු නායිකා ෂානිකා රාජපක්ෂ ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වූහ.

 


අදහස් (0)

මලල ක්‍රීඩා කාලසටහන වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.