Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පසුබෑම ගැන පූර්ණ පරීක්‍ෂණයක්

පසුබෑම ගැන පූර්ණ පරීක්‍ෂණයක්

editorial - 2019 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෝහා, කටාර්හිදී ඉකුත්දා නිමාවට පත්වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලක්වූ පසුබෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් අතරින් පදක්කමක් දිනාගැනීමට සමත් වූයේ තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කී විදූෂා ලක්ෂානි පමණි.

විදූෂාට අමතරව පදක්කමකට ලඟාවීමට හෝ හැකි වූයේ නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම - කාන්තා), ගයන්තිකා අබේරත්න (මීටර් 800 - කාන්තා) යන ක්‍රීඩිකාවන්ට සහ මීටර් 400X4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම පමණි. ඔවුහු සියලු දෙනාම තම තමන් සහභාගි වූ ඉසව්වල සිව්වැනි ස්ථාන ලැබූහ.

උක්ත තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් සහභාගිකරවා ගනිමින් ඉදිරියේදී පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව සූදානමින් සිටින බව එම කමිටුවේ සාමාජිකයකු වන එන්.ඒ.ටී. ජයසිංහ මහතා පැවසීය.

“මේ තරගාවලියට අපි තේරුවේ හොඳම කණ්ඩායමක්. ඔවුන් ලංකාවෙදී පැවැති තේරීම් තරගවලදී ඉහළ දස්කම් දැක්වූවා. නමුත් ඔවුන්ට කටාර්වලිදී එම දක්ෂතා දක්වන්න බැරි වුණේ ඇයි කියන එක අබිරහසක්.”

“මේ අන්ත පරාජය සම්බන්ධයෙන් අපි අපේ පූර්ණ අවධානය යොමු කරනවා. අපිට අවශ්‍යයි ඇත්තටම මෙතනදි වුණේ මොකක්ද කියලා හොයලා බලන්න. එතකොට තමයි අනාගතයෙදි නැවත වතාවක් මේ වගේ දෙයක් සිදු නොවෙන්න වග බලාගන්න පුළුවන් වෙන්නේ.” යැයි ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පදක්කම් බලාපොරොත්තුවක් වූ කෙටි දුර ධාවක හිමාෂ ඒෂාන්ට මෙවර අසියානු ශූරතාවලියේ මීටර් 100 පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ආසියානු ශූරතාවලියට සහභාගි වූ ඒෂාන්, එහිදී සිය පෞද්ගලික හොඳම කාලයට ලඟා වීමට පවා අපොහොසත් විය.

2017 වසරේ ඉන්දියාවේදී පැවැති ආසියානු ශූරතාවලියේදී මීටර 800 කාන්තා ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනාගත් නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්නද මෙවර තරගාවලියේදී වාර්තා කරන ලද කාලයන් අනුව ගත්කළ සැළකිය යුතු පසුබෑමකට ලක්වූහ.

මේ අතර ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ පසුබෑමට වත්මන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වගකිව යුතු යැයි ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන සුනිල් ගුණවර්ධන මහතා කියා සිටියි. එහිදී ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

“අපිට මලල ක්‍රීඩාව සංවර්ධනය කරන්න නිසි සැලසුමක් නෑ. මෑත කාලයේ විවිධ තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දක්වපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලාගැනීමට අපි අසමත් වෙලා තියෙනවා.”

“නමුත් සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ වැනි ක්‍රීඩිකාවන්ට පුළුවන් වුණා අපේ රටේදී වගේම පිට රටවලදීත් එක වගේ දක්ෂතා දක්වන්න.”

“ඒ වගේම මම දකිනවා රට පුරා ඉන්න මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ මාෆියාවක් තියෙනවා. අපි ඒක නවත්වන්න ඕන. එහෙම කළොත් තමයි අපිට ජාත්‍යන්තර පදක්කම් දිනන්න පුළුවන් වෙන්නේ.” යැයිද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

-036


අදහස් (0)

පසුබෑම ගැන පූර්ණ පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.