Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තෙමසකට පසු මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

තෙමසකට පසු මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

නාමල් පතිරගේ - 2020 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස තුනක පමණ කාලයකින් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නේවාසික පුහුණුවීම් ඊයේ (17) කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී ආරම්භ විය. ඒ සඳහා පළමුවෙන් සාග් රන් පදක්කම්ලාභින් ඇතුළත් සුපිරි (එලයිට්) කාණ්ඩයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනකු ඊයේ කොළඹට කැඳවනු ලැබීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න, ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න යන මහත්වරු සහ වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (16) පැවැති විශේෂ සාකච්ඡාවකදී ජාතික මලල ක්‍රීඩා සංචිත යළි ආරම්භ කිරීම සඳහා අනුමැතිය දී තිබේ.

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියේය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට ආසන්න පිරිසකගෙන් සමන්විත ජාතික මලල ක්‍රීඩා සංචිතයේ දෙවැනි පෙළ කණ්ඩායමේ පුහුණුවීම් ලබන සඳුදා (22) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් ‘කොවිඩ් 19’ වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමත කර ඇති කොන්දේසි මාලාවට අනුගතව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ඇති පුහුණු සංචිත පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

සුපිරි මලල ක්‍රීඩා පුහුණු සංචිතය ආරම්භ කිරීමේදී එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් මනාප පරිදි නිවසේ සිට වුවද දෛනිකව පුහුණුවීම් සඳහා වාර්තා කළ හැකිය. සංචිතයෙන් ආහාරපාන ලබා නොගෙන ඒ සඳහා වන පෝෂණ දීමනා ගෙවීම් ලෙස ලබා ගැනීමටද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර ලබා දී තිබේ.

මෙම පුහුණු සංචිත දෙකටම ඇතුළත් නොවූ ජාතික මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී සිය පෞද්ගලික පුහුණුවීම් ටොරින්ටන් පිටියේදී ආරම්භ කිරීම සඳහා අනුමැතිය දෙන බවද ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහු කියති.

‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරට නියමිත සියලුම අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි අවලංගු කර තිබේ. ඒ අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හා ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල යන ප්‍රධානතම ඉසව් දෙක ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිතයන්හි පුහුණුවීම් ආරම්භ කරන බව ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පවසයි.

කෙසේ වුවත් මෙම වසරට නියමිත ප්‍රධානතම දේශීය මලල ක්‍රීඩා තරග ඉසව් වන 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හා 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්වීමට තීරණය වී තිබේ.

ඒ අනුව සුපිරි හා ජාතික යන මලල ක්‍රීඩා සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරම්භයේදී එම දේශීය තරගාවලි ඉලක්ක කරමින් පුහුණුවීම් කරගෙන යා යුතු බවද මලල ක්‍රීඩා නිලධාරිහු කියති.

වසරකින් කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන රටවලට සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේ සහන කාලයක් ලබන දෙසැම්බර් 5 වැනිදා සිට 2021 ජුනි 20 දක්වා වන පරිදි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අලුතෙන් ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වැඩි අවස්ථාවක් හිමිකරගෙන සිටින්නේ මීටර 3000 බාධක ක්‍රීඩිකා නිලානි රත්නායක හා මැරතන් ක්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්නයි.

තුන්පිම්ම ක්‍රීඩක ග්‍රේෂන් ධනංජය, දුර පැනීමේ ක්‍රීඩකයන් වන අමිල ජයසිරි, ජානක විමලසිරි, මීටර 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි, තුන්පිම්ම ක්‍රීඩිකා විදුෂා ලක්ෂානි මීටර 400x4 සහය දිවීමේ කණ්ඩායමද ටෝකියෝ ඔලිම්පික් උළෙල කෙරෙහි අවධානය යොමුකර තිබේ.

ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා සාග් රන් පදක්කම්ලාභි හිරුණි විජේරත්න ‘ටෝකියෝ’ ඔලිම්පික් පරිසාධන මට්ටමට විනාඩි පහක් පමණ පසුපසින් සිටී. ඇයට ඔලිම්පික් යාමේ වරම් නොලැබේ නම් රට රටවලට ලැබෙන පංගු ක්‍රමය යටතේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබේ.

මේ අතර ඊයේ යළි පුහුණුවීම් ආරම්භ වූ සුපිරි සංචිතය සඳහා සාග් රන් පදක්කම් ලාභීන් හැරෙන්නට තුන් පිම්ම සාග් රිදී පදක්කම්ලාභි විදුෂා ලක්ෂානි, මීටර 800 ක්‍රීඩිකා තිලානි රත්නායක හා මීටර 400 ක්‍රීඩිකා නදීෂා රාමනායකද ඇතුළත්ව සිටිති.


අදහස් (0)

තෙමසකට පසු මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.